Swipe left or right to navigate stories
සති අන්තයේ පුවත් සාරාංශ - මැයි 4

සති අන්තයේ පුවත් සාරාංශ - මැයි 4

මාලදිවයින් ජනපතිගේ පළමු ශ්‍රී ලංකා සංචාරය

රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා ඊයේ (3) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේය. ජනාධිපතිවරයා සමග ජනාධිපති ආර්යාව සහ තවත් නිලධාරීන් 20 දෙනෙක් සංචාරයට එක්ව සිටියහ.

2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා, 6 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මාලදිවයින් ධූත පිරිස පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් සිටියහ.



රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා මොස්කව් නුවර සිට ඊයේ (3) උදෑසන දිවයිනට පැමිණියේය.

ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත ගොස් සිටියහ.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර කොළඹ ජාතික රෝහලේ සහ වෛද්‍ය විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමටද නියමිතය.



රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට

රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී විදෙස් ජාතිකයන් 120 කට ආසන්න ප්‍රමාණයක් අත්තඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ (3) පියවර ගෙන තිබේ.

නීති විරෝධී මූල්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම් හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය, කාම්බෝජය වැනි රටවල් නියෝජනය කරන පිරිස් සිටින බවද සඳහන් වේ. ඔවුන් සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකතන රැසක්ද එහිදී පොලිස් භාරයට ගෙන තිබේ.



ඉන්ධන මිල යළිත් ඉහළට

ඉකුත් සෙනසුරාදා (2) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.

එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින්ද ඉහළ දමා ඇති අතර ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින්ද ඉහළ දමා තිබිණි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410 ක් ලෙසත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් ‍470 ක් ලෙසත් ඉහළ ගිය අතර ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 392 ක් ලෙසත්, සුපිරි ඩීසල් ලීටරයක නව රුපියල් 458 වන ලෙසත් ඉහළ ගිය බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.



ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට විස්සයි-20 තරගාවලිය ජයක්

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සෙනසුරාදා (2) සමත් විය.

ඒ දෙරට අතර පැවති තෙවැනි සහ අවසන් විස්සයි-20 ක්‍රිකට් තරගය ලකුණු 3 කින් ජයගැනීමත් සමගනි. තෙවැනි තරගයේ සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නායිකා චමරි අතපත්තු සම්මාන දිනාගත්තාය.

දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 25 කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, දෙවැනි තරගය ලකුණු 21 කින් ජයගැනීමට සමත් වූහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem