පාස්කු විමර්ශනවලට අදාළව තමන් අනීතිකව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉකුත් ජනාධිපතිවරණ සමයේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ශ්රේෂ්ඨාධිකරණය, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන්දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළේය.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කරන ලදී.
ද්වේෂ සහගත පැමිණිල්ල
ඉකුත් ජනාධිපතිවරණ සමයේ පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා විශ්රාමික නියෝජ්ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් පැමිණිල්ලක් සිදුකර තිබිණි.
එම පැමිණිල්ල මත මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්ය පොලිස්පති ශානි අබේසේකර සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීම තුළින් එවක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන්දෙනා පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අධිකරණය තීන්දු කළේය.
වගඋත්තරකාර විශ්රාමික නියෝජ්ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ මෙම පැමිණිල්ල දේශපාලනික අරමුණකින් යුතුව සිදු කළ ද්වේෂ සහගත එකක් බවත්, ඒ මත විමර්ශන ඇරඹීම තුළින් වගඋත්තරකරුවන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් තීන්දුවේ සඳහන් විය.
වන්දි ගෙවීමට නියෝග
ඒ අනුව පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන්ට වන්දි ගෙවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය ඔවුන්ට නියෝග කළේය.
එහිදී විශ්රාමික නියෝජ්ය පොලිස්පති පාලිත සිරිවර්ධනට රුපියල් 50,000 බැගින්ද, එවක ප්රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වාට රුපියල් 10,000 බැගින්ද ගෙවන ලෙස වන්දි මුදල් නියම කෙරිණ.
Comments
Moderated before publishing. Your email stays private.