හොංකොංහිදී නිමාවට පත් වූ 14 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වීම හේතුවෙන් ශ්රී ලංකාවට එළබෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය.
තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී මැලේසියාවට එරෙහිව ලකුණු 65-60 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකාව සමත් විය. මූලික වටයේදීද ශ්රී ලංකාව හමුවේ මැලේසියාව ලකුණු 66-52 කින් පරාජයට පත් විය.
තෙවැනි ස්ථානය තේරීමේ තරගයේ වට හතරේ ලකුණු තත්වයන් 12/13 ක්, 19/17 ක්, 15/17 ක් සහ 19/13 ක් ලෙස සටහන් වූ අතර එහිදී ශ්රී ලංකා ක්රීඩිකාවෝ, දෙවැනි සහ සිවුවැනි වටවලදී මැලේසියාවට වඩා ඉදිරියෙන් සිටියහ.
2005 න් පසු දැවැන්තම පසුබෑම
මෙවර තරගාවලිය පුරා තරග 7 කට සහභාගී වූ ශ්රී ලංකාව තරග 4 ක් ජයගෙන, එක් තරගයක් සම කරමින් සහ තරග 2 ක් පරාජය වෙමින් සිය සහභාගීත්වය නිමා කළේය. තරගාවලිය තුළ ශ්රී ලංකාව ලකුණු 471 ක් රැස් කරද්දී, ප්රතිවාදීන් ශ්රී ලංකාවට එරෙහිව ලකුණු 380 ක් ලබාගෙන තිබිණි. එහිදී ශ්රී ලංකාවේ ජයග්රාහී ප්රතිශතය 57.1% ක් විය.
කෙසේ වෙතත් 2005 වසරෙන් පසුව ශ්රී ලංකාව ආසියානු දැල්පන්දු තරගාවලියක තෙවැනි ස්ථානය දක්වා පහත වැටුණු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. 1985 දී ආරම්භ වූ මෙම තරගාවලි ඉතිහාසයේ 1993, 2005 සහ මෙවර (2026) තරගාවලි තුන හැරුණු විට සෙසු සෑම අවස්ථාවකදීම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකාව සමත්ව තිබිණි.
2027 ලෝක කුසලානය අහිමි වෙයි
මෙවර තරගාවලියේදී ශ්රී ලංකාවට ශූරතාව හෝ අනු ශූරතාව හෝ දිනා ගැනීමට නොහැකි වීම නිසා 2027 වසරේ ඕස්ට්රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වීමට නියමිත ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී ගියේය.
ආසියානු කලාපයෙන් ලෝක කුසලානය සඳහා වරම් හිමිවන්නේ තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායම් දෙකට පමණි.
මින් පෙර පැවැති ආසියානු දැල්පන්දු ශූරතාවලි 13 තුළදී ශ්රී ලංකාව 6 වරක් ශූරතාව දිනාගෙන ඇති අතර සිවුවරක් අනු ශූරියන් බවට පත්ව තිබේ.
පුහුණුකාරිණිය වගකීම භාර ගනී
මෙවර තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම මුහුණපෑ පසුබෑම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බව ශ්රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ප්රධාන පුහුණුකාරිනී සොමිතා අල්විස් මහත්මිය ප්රකාශ කළාය.
ඒ අනුව ජාතික කණ්ඩායමට ලබා දුන් සිය සේවය මෙතැනින් අවසන් කරන බවද ඇය තරගාවලියෙන් අනතුරව වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්රි ලංකා කණ්ඩායම සමග තරගාවලියට සහභාගි වූ දැල්පන්දු සංගමයේ ලේකම් දමයන්ති ජයතිලක මහත්මියද තරගාවලිය නිමා වී දිවයිනට පැමිණීමෙන් අනතරුව පුහුණුකාරිණියට දැඩි දෝශාරෝපනයක් එල්ල කර සිටියාය.
සිංගප්පූරුවට පස්වැනි කිරුළ
සත්කාරක හොංකොං කණ්ඩායම ලකුණු 57-33 කින් පහසුවෙන් පරාජය කළ සිංගප්පූරුව මෙවර ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත්තේය.
තරගාවලියේ තරග 7 න් තරග 6 ක් ජයගත් සිංගප්පූරුව හමුවේ ශ්රී ලංකාව දෙවතාවක්ම (මූලික වටයේදී සහ අවසන් පූර්ව වටයේදී) පරාජයට පත් විය. සිංගප්පූරුව ආසියානු කුසලානය දිනූ 5 වැනි අවස්ථාව මෙය විය.
මේ අතර 1993 න් පසුව වසර 33 කට පසු ආසියානු තරගාවලියකදී හොංකොං කණ්ඩායම දැක්වූ හොඳම දක්ෂතාව මෙය වූ අතර, 8 වරක් තෙවැනි ස්ථානය දිනා තිබූ මැලේසියාව මෙවර සිව්වැනි ස්ථානය දක්වා ඇද වැටුණි.
තුමල්කා නරඹන්නියක් වෙයි
මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතයට තේරී පත් වූ එකම පාසල් ක්රීඩිකාව වූ කුරුණෑගල මලියදේව බාලිකා විද්යාලයේ තුමල්කා ඒකනායකට තරගාවලියේ එකදු තරගයකටවත් ක්රීඩා කිරීමට අවස්ථාව නොලැබීම කැපී පෙනෙන සිදුවීමක් විය.
තරගාවලියට පිටත්ව යාමට පෙරම තුමල්කාගේ ශාරීරික යෝග්යතාව සම්බන්ධයෙන් ඇති ගැටලු පිළිබඳව ප්රධාන පුහුණුකාරිනී සොමිතා ද අල්විස් මහත්මිය විසින් ශ්රී ලංකා දැල්පන්දු සම්මේලනය සහ තේරීම් කමිටුව දැනුවත් කර තිබිණි.
කෙසේ වෙතත් ජාතික සංචිතයේ පුහුණුවීම් අතරතුර සිය දියණියගේ පුහුණු කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වූ බවට චෝදනා කරමින් තුමල්කාගේ පියා වන (විශ්රාමික) බ්රිගේඩියර් ෂිරෝන් චන්දිමාල් ඒකනායක මහතා විසින් ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනියට සහ වෛද්යවරයාට එරෙහිව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මෙන්ම ශ්රී ලංකා වෛද්ය සභාවටද පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.
Comments
Moderated before publishing. Your email stays private.