ශ්රී ලංකාවේ නව චීන තානාපති ලෙස පත් වූ වේයි හුවාෂියැං මහතා සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර විශේෂ හමුවක් සැප්තැම්බර් 16 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
2027 වසරේදී සමරනු ලබන ශ්රී ලංකා - චීන ද්විපාර්ශ්වික රාජ්යතාන්ත්රික සබඳතාවල 70 වැනි සංවත්සරයට සමගාමීව අධ්යාපන, ඩිජිටල්කරණ සහ සංවර්ධන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු වී තිබේ.
පාසල් නිල ඇඳුම් සහ ඩිජිටල් අධ්යාපනය
පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමට චීන රජයෙන් ලැබෙන සහාය පිළිබඳවද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.
එම සහනය වසරින් වසර ලබාදෙන තාවකාලික ක්රමවේදයක් වෙනුවට, සෑම පාසල් වසරක් ආරම්භයේදීම නිසි වේලාවට නිල ඇඳුම් ලබාදීමට හැකි වන පරිදි වසර 3 සිට 5 දක්වා වන දීර්ඝකාලීන රාමුවක් ඔස්සේ ක්රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.
එමෙන්ම අධ්යාපන ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස චීන ආධාර යටතේ ක්රියාත්මක ඩිජිටල් අධ්යාපන ව්යාපෘතියේ ප්රගතියද සමාලෝචනය කෙරුණු අතර මේ යටතේ දිවයින පුරා පිහිටි ඩිජිටල් පන්ති කාමර 500 ක් සඳහා ස්මාර්ට් උපාංග 900 ක් ලබාදීමට නියමිතව ඇත.
ඩිජිටල් කාර්ය සාධක බලකාය සහ ශිෂ්යත්ව
අධ්යාපන ඩිජිටල්කරණය පිළිබඳ ප්රතිපත්ති සකස් කිරීම සඳහා පත්කර ඇති ඩිජිටල් කාර්ය සාධක බලකාය පිළිබඳව අග්රාමාත්යතුමිය විසින් තනාපතිවරයාව දැනුවත් කරන ලදී.
එම වැඩපිළිවෙළ අගය කළ නව තානාපතිවරයා, ඒ සඳහා චීන රජයේ පූර්ණ සහාය පළකළ අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය සහ අදාළ කාර්ය සාධක බලකාය අතර වැඩිදුර සාකච්ඡා පැවැත්වීමටද තීරණය විය.
මීට අමතරව චීන රජයේ ශිෂ්යත්ව ක්රමය සහ චීන තානාපති ශිෂ්යත්ව ක්රමය ඔස්සේ ශ්රී ලාංකික සිසුන්ට හිමිවන උසස් අධ්යාපන අවස්ථා මෙන්ම, ළමුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාපීය හා ජාත්යන්තර මට්ටමින් එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද සාකච්ඡාවට ලක් විය.
ස්වාභාවික ව්යසන සහ දේශගුණික විපර්යාස
'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ හානිවලදී චීනය දැක්වූ සහයෝගය අග්රාමාත්යතුමියගේ පැසසුමට ලක් වූ අතර ටිබෙට් සීමාසන්න ප්රදේශවල ඇති වූ නායයෑම් සහ ගංවතුර තත්ත්වයෙන් සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳව අග්රාමාත්යතුමිය සිය කණගාටුව පළ කළාය.
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා දෙරට අතර සහයෝගීතාවයේ ඇති වැදගත්කමද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
Comments
Moderated before publishing. Your email stays private.