ශ්රී ලංකා ගමන් බලපත්ර හිමියන් සඳහා පැවැති වීසා නිදහස් කිරීමේ ක්රමවේදය 2026 සැප්තැම්බර් 15 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි අවසන් කිරීමට තායිලන්තය පියවර ගෙන ඇති බව කොළඹ පිහිටි රාජකීය තායි තානාපති කාර්යාලය නිවේදනය කරයි.
විශේෂ දැනුම්දීමක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, ශ්රී ලංකාවේ සිට තායිලන්තය බලා පිටත්වීමට පෙර සියලුම සංචාරකයින් නිල තායි e-Visa පද්ධතිය (www.thaievisa.go.th) ඔස්සේ වීසා ලබාගත යුතු බවය.
තවද පෞද්ගලිකව පැමිණ භාරදෙන හෝ ලිඛිත අයදුම්පත් භාර නොගන්නා බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.
නව රෙගුලාසි සහ පසුබිම
පසුගිය වසරේ ජූලි මාසයේදී ශ්රී ලංකාව ඇතුළු රටවල් සහ ප්රදේශ 93ක ගමන් බලපත්ර හිමියන්ට දින 60 ක් දක්වා වීසා නොමැතිව රට තුළට ඇතුළු වීමට අවස්ථාව සලසමින් තායිලන්තය විසින් වීසා නිදහස් කිරීමේ ක්රමවේදයක් හඳුන්වා දෙන ලදී.
කෙසේ වෙතත් මේ වන විට එම ක්රමවේදය අවසන් කිරීමට තීරණය කර ඇති අතර රටවල් 60 කට දින 30 ක් දක්වා වීසා රහිතව රැඳී සිටීමට සුදුසුකම් ලබන පරිදි නව රෙගුලාසි හඳුන්වා දී තිබේ.
එම නව පහසුකම හිමිවන රටවල් ලැයිස්තුවට ශ්රී ලංකාව ඇතුළත් නොවන බැවින්, ශ්රී ලංකා ගමන් බලපත්ර හිමියන් මින් ඉදිරියට තායිලන්තයට ඇතුළු වීමට පෙර e-Visa සඳහා අයදුම් කිරීම අනිවාර්ය වේ.
Comments
Moderated before publishing. Your email stays private.