Swipe left or right to navigate stories
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-1 කින් පාකිස්තාන කාන්තා පිල පරදවති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-1 කින් පාකිස්තාන කාන්තා පිල පරදවති

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (28) සමත් වූහ.

අද පැවැති තෙවැනි තරගයේ ජයග්‍රහණය ස‍ඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, ඕවර 37.2 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ.

දෙරට අතර පැවැති දෙවැනි තරගයේදී ශතකයක් ලබාගත් හර්ෂිතා සමරවික්‍රම, මෙම තරගයේදීද ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරත වෙමින් පන්දු 92 කදී හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 71 රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.



සාර්ථක සම්බන්ධතා

ලකුණු 85 කඩුලු 2 ක් බිඳවැටීමෙන් අනතුරුව හසිනි පෙරේරා (නොදැවී 50) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 137 කදී ලකුණු 106 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද හර්ෂිතා සමත් විය. මෙය හර්ෂිතාගේ 9 වැනි එක්දින අර්ධ ශතකය විය.

එහිදී පන්දු 88 කට මුහුණ දෙමින් සිය සිවුවැනි එක්දින අර්ධ ශතකය ලබාගත් හසිනි, හතරේ පහර 8 කින් එය සැරසූවාය. පන්දු 38 කදී වාර්තා වූ චමරි අතපත්තුගේ 21 වැනි අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් විෂ්මි ගුණරත්න සමග එක්ව පන්දු 39 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නායිකා චමරි සමත් වූවාය.



පාකිස්තාන ඉනිම

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ලකුණු 187 කට සීමා කිරීමට දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ.

එහිදී කවීෂා දිල්හාරි සහ චමරි අතපත්තු ලකුණු 27 කට කඩුලු 3 බැගින් බිඳහෙළූ අතර වේග පන්දු යවන ක්‍රීඩිකා ලකුණු 36 කට කඩුලු 3 ක් දවාගත්තාය. ඇය එම කඩුලු 3 ම දවාගත්තේ එකම ඕවරයක් තුළදී වීමද කැපී පෙනුණ සිදුවීමක් බවට පත් විය.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ නායිකා ෆාතිමා සානා පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 41 ක් රැස්කළාය.



ලකුණු පුවරුව

පාකිස්තාන කාන්තා පිල - ඕවර 40 කදී සියලු දෙනා දැවී 187
(ගුල් ෆෙරෝස් 40, මුනීබා අලී 34, නාජා අල්වි 30, ෆාතිමා සානා 41, චමරි අතපත්තු 27/3, කවීෂා දිල්හාරි 27/3, චේතනා විමුක්ති 36/3)

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 37.2 කදී කඩුලු 2 ක් දැවී 191
(චමරි අතපත්තු 52, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 71, හසිනි පෙරේරා නොදැවී 50)

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem