Swipe left or right to navigate stories
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රබල සටනකින් පසු ලෝක ශූරියන් පරදවති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රබල සටනකින් පසු ලෝක ශූරියන් පරදවති

කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ වත්මන් ලෝක ශූර නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව සදම්ප්ටන් නුවර රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, පන්දු 2 ක් ඉතිරිව ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ නිලක්ෂි ද සිල්වා, පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.

ලකුණු 55 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී කවීෂා දිල්හාරි (17) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නිලක්ෂි, ඉන් නොනැවතී කෞෂිනී නුත්‍යංගනා (නොදැවී 24) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 48 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියාය.



සාර්ථක ආරම්භයක්

පිළිතරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් යුගළය වූ නායිකා චමරි අතපත්තු (27) සහ විෂ්මි ගුණරත්න (17) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 45 ක් එක් කළහ.

එහිදී පන්දු 19 කට මුහුණදුන් චමරි, හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 19 කදී වාර්තා වූ විෂ්මිගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 50 සීමාව ආසන්නයේ තිබියදී බ්‍රී ඉලිංගේ පන්දුවක් හමුවේ චමරි දැවී යෑමත් සමග පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය.



නුත්‍යංගනාගේ දස්කම්

ජයග්‍රහණය හඹා යෑමේදී නිලක්ෂිට අනගි සහායක් දෙමින් පන්දු 14 කදී හතරේ පහර 3 ක් සමග වේගවත් ලකුණු 24 ක් රැස්කළ කෞෂිනී නුත්‍යංගනා, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රකිද්දීද කඩුලු රකින්නිය ලෙස කැපී පෙනුණ දක්ෂතා දැක්වීය.

එහිදි නවසීලන්ත කාන්තා කණ්ඩායමේ බිඳවැටුණු කඩුලු 6 න් 3 කටම දායකත්වය දුන් නුත්‍යංගනා, දක්ෂ ලෙස උඩ පන්දු 3 ක් රැකගත්තේය.

එම උඩ පන්දු 3 න් නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඉසෙබලා ගාස් (4) දවාගැනීම සඳහා දකුණු පසට සැලකිය යුතු දුරක් පනිමින් නුත්‍යංගනා රැකගත් උඩපන්දුව ක්‍රීඩා විචාරකයන්ගේ මහත් පැසසුමට ලක් විය.



නවසීලන්ත ඉනිම

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්‍ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි.

එහිදී නායිකා මේලී කේර් හතරේ පහර 5 ක් සමග පන්දු 36 කින් ලකුණු 45 ක්ද, සොෆී ඩේවින් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 30 කින් ලකුණු 45 ක්ද රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරි ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගනිද්දී, චමරි අතපත්තු, මිතාලි අයෝධ්‍යා, සුගන්ධිකා කුමාරි සහ නිමාෂා මීපගේ එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.



ලකුණු සටහන

නවසීලන්ත කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට ලකුණු 150
(ජෝජියා ප්ලිමර් 18, මේලී කේර් 45, සොෆී ඩේවින් 45, මැඩී ග්‍රීන් නොදැවී 18, කවීෂා දිල්හාරි 35/2)

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 19.4 කදී කඩුලු 5 කට 153
(විෂ්මි ගුණරත්න 17, චමරි අතපත්තු 27, කවීෂා දිල්හාරි 17, නිලක්ෂි ද සිල්වා නොදැවී 54, කෞෂිනි නුත්‍යංගනා නොදැවී 24, නැන්සි පටේල් 23/2)

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem