ලෝක බැංකුවේ නවතම ආදායම් වර්ගීකරණයට අනුව ශ්රී ලංකාව නැවත වරක් 'ඉහළ මැදි ආදායම්ලාභී' රටක් ලෙස වර්ගීකරණය කර තිබේ.
ලෝක බැංකු සමූහයේ සංවර්ධන දත්ත මධ්යස්ථානය විසින් 2026 වසර සඳහා වන ලෝක රටවල ආදායම් වර්ගීකරණයේ නවතම යාවත්කාලීන කිරීම ජූලි 1 වැනිදා නිකුත් කරමින් මේ බව ප්රකාශ කර ඇත.
ඇට්ලස් ක්රමවේදයට අනුව ඒක පුද්ගල දළ ජාතික ආදායම පදනම් කරගනිමින් සිදුකළ මෙම වර්ගීකරණයේදී ශ්රී ලංකාව ඇතුළු රටවල් 6ක් ආර්ථික ඉණිමගේ ඉහළ කාණ්ඩ කරා ප්රගතියක් පෙන්වා තිබීම විශේෂත්වයකි.
මෙම සමස්ත ප්රතිඵල 2027 ජුනි මස අවසානය දක්වා ගෝලීය මට්ටමින් බලාත්මක වනු ඇත.
වසර තුනකට පසු දියුණුවක්
මෙහිදී වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වන්නේ 2022 වසරේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්රී ලංකාව, වසර තුනකට පසු නැවතත් මෙම ඉහළ-මැද ආදායම් මට්ටමට පැමිණීමට සමත්වීමය.
මූල්ය, සේවා සහ සංචාරක අංශයන්හි ඇති වූ පුනර්ජීවනයත් සමග 2025 වසරේදී 5% ක සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් වාර්තා කිරීමට ශ්රී ලංකාව සමත්ව ඇති අතර එය මෙම සීමාව තරණය කිරීමට ප්රධාන හේතුව වී තිබේ.
මෙවර වර්ගීකරණයේදී ශ්රී ලංකාව සමඟ වියට්නාමය, පිලිපීනය, ජෝර්දානය සහ මයික්රොනීසියාව යන රටවල් පහම 'පහළ-මැද' කාණ්ඩයේ සිට 'ඉහළ-මැද' ආදායම් කාණ්ඩය දක්වා ඉදිරියට පැමිණ ඇත.
වර්ගීකරණයේ වැදගත්කම
1987 වසරේදී රටවල් 163 කින් ඇරඹී වර්තමානයේ රටවල් 218ක් දක්වා පුළුල් වී ඇති ලෝක බැංකුවේ මෙම වාර්ෂික වර්ගීකරණය හුදෙක් සංඛ්යා ලේඛනයක් පමණක් නොවේ.
රටකට ජාත්යන්තරයෙන් සහන ණය සහ සංවර්ධන ආධාර ලබාගත හැක්කේ කුමන පදනමකින්ද යන්න තීරණය කිරීමට මෙන්ම ලොව පුරා රටවල ආර්ථික ප්රගතිය සහ ගමන් මග නිරීක්ෂණය කිරීමට ජාත්යන්තර සංවිධාන හා රජයන් භාවිතා කරන ප්රධානතම මෙවලම මෙය වේ.
Comments
Moderated before publishing. Your email stays private.