ශ්රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා බලපැවැත්වෙන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට අමෙරිකාවේ ට්රම්ප් පරිපාලනය තීරණය කර ඇති අතර එම නව බදු ප්රතිපත්තිය අද (24) සිට ක්රියාත්මක වේ.
අදාළ රටවල් තුළ බලහත්කාර ශ්රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නීති නිසි ලෙස ක්රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්රතිපත්තිය මෙම නව බදු පැනවීමට මූලිකම හේතුව වී තිබේ.
අමෙරිකානු අධිකරණ තීන්දුවකට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ට්රම්ප්ගේ බදු ප්රතිපත්තිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කර තිබූ අතර ඒ අනුව එය ක්රියාත්මක කිරීමට අවසර හිමිව තිබුණේ දින 150ක කාලයකට පමණි. අදාළ කාලසීමාව අවසන් වීමට නියමිත වීමත් සමග මෙලෙස නව බදු ප්රතිපත්තිය අද සිට ක්රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
රටවල් 17කට 10%ක බද්දක්
මෙම නව පියවර යටතේ ශ්රී ලංකාව ඇතුළු රටවල් 17 කින් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 10%ක බදු ප්රතිශතයක් පනවා ඇත.
ඊට අමතරව යුරෝපීය සංගමය සහ තායිවානයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහාද මෙම 10% බදු ප්රතිශතයම අදාළ වන බව වාර්තා වේ.
10%ක බදු ප්රතිශතයට යටත් වන සෙසු රටවල් වන්නේ ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්රිනිඩෑඩ් සහ ටොබැගෝය.
12.5%ක බදු අයකෙරෙන රටවල්
කෙසේ නමුත් ඇල්ජීරියාව, ඇන්ගෝලාව, ඔස්ට්රේලියාව, බහමාස්, බහරේන්, බ්රසීලය, චිලී, චීනය, කොලොම්බියාව, කොස්ටාරිකාව, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ගයනාව, හොංකොං, ඉරාකය, ඊශ්රායලය, ජපානය, කසකස්තානය, කුවේට්, ලිබියාව, මොරොක්කෝව, නවසීලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, ඕමානය, පේරු, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්රිකාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්යය, උරුගුවේ, වෙනිසියුලාව සහ වියට්නාමය යන රටවලට 12.5%ක බදු ප්රතිපත්තිය ක්රියාත්මක කෙරෙනු ඇත.
Comments
Moderated before publishing. Your email stays private.