මැද පෙරදිග පවතින රාජ්ය තාන්ත්රික හා ඡන්ද අර්බුදකාරී ගැටුම් නැවත වරක් උග්ර වීමත් සමග, ශ්රී ලංකන් ගුවන් සමාගම කුවේට් වෙත ක්රියාත්මක වන සිය ගුවන් ගමන් සතියක කාලයකට අත්හිටුවීමට තීරණය කර තිබේ.
මෙම ගුවන් ගමන් අත්හිටුවීම ඊයේ (20) පස්වරුවේ සිට එළබෙන 26 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ශ්රී ලංකන් ගුවන් සමාගම තහවුරු කළේය.
මෙම ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් අපහසුතාවයට පත්වූ මගීන් ශ්රී ලංකාව තුළ සිටින්නේ නම් 1979 අංකය ඔස්සේද, විදේශයක සිටින්නේ නම් +94 11 777 1979 අංකය ඔස්සේද සම්බන්ධ වන ලෙස උපදෙස් දී ඇත.
මීට අමතරව +94 74 444 1979 අංකයට WhatsApp ඔස්සේ හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ තමන් ප්රවේශපත්ර ලබාගත් සංචාරක ඒජන්තවරයා මාර්ගයෙන්ද තොරතුරු ලබාගත හැකි බව ශ්රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
පසුබිම
පසුගිය සති අන්තයේ ඇමරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන කලාපීය ස්ථාන ඉලක්ක කරගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්රෝන ප්රහාර මාලාවත් සමඟ මෙම තාවකාලික ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ඉකුත් සෙනසුරාදා (18) සිදුවූ මෙම හදිසි උග්රවීමත් සමඟ ගුවන් ආරක්ෂක පද්ධති සක්රීය කෙරුණු අතර කුවේට් ජාත්යන්තර ගුවන් තොටුපළේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සහ ගුවන් ගමන් කාලසටහන් වෙනස් කිරීමට සිදුවිය.
කලාපයේ ගුවන් ගමනාගමන තත්ත්වය යථා තත්ත්වයට පත්වන තෙක් ජාත්යන්තර ගුවන් සමාගම් රැසක්ද කුවේට් වෙත යන ගුවන් ගමන් අත්හිටුවීමට හෝ ගුවන් මාර්ග වෙනස් කිරීමට පියවර ගෙන ඇත.
Comments
Moderated before publishing. Your email stays private.