‘දූෂණය‘ නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (19) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.
නිල බලය අවභාවිත කරමින් හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්ෂ 88 කට අධික රජයේ මුදල් අයථා ලෙස වන්දි වශයෙන් ලබාගැනීම යන චෝදනාව මත මෙලෙස අධිචෝදනා පත්ර භාරදෙනු ලැබූ සෙසු විත්තිකරුවන් වන්නේ සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අයයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්රයට අනුව මෙම වංචාව සිදුව ඇත්තේ 2022 වසරේ මැයි මස 9 වැනිදා රට තුළ ඇති වූ 'අරගලය' දේශපාලන නොසන්සුන්තාව පදනම් කරගෙනය.
නඩුවේ පසුබිම
ශ්රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ කිහිපයකට එම නොසන්සුන්තාවයේදී හානි සිදු වී තිබුණි.
අදාළ දේපළ අනවසර ඉදිකිරීම් බැවින් ඊට වන්දි ගෙවීම ප්රතික්ෂේප කර තිබූ පසුබිමක විත්තිකරුවන් තමන් සතු නිල බලය සහ දේශපාලන බලපුළුවන්කාරකම් භාවිත කරමින් හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරීන්ට අයුතු ලෙස බලපෑම් කර ඇත.
එමගින් රුපියල් අසූ අට ලක්ෂ පනස්දහසක වන්දි මුදලක් ලබා ගැනීම තුළින් රජයට පාඩු සිදු කරමින් අල්ලස් පනත යටතේ ‘දූෂණය‘ නමැති වරද සිදු කර ඇති බවට කොමිසම චෝදනා කරයි.
සාක්ෂි සහ නඩු භාණ්ඩ
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්රය යටතේ චෝදනා 10 ක් ඉදිරිපත් කර ඇත.
එම චෝදනා ඔප්පු කිරීම සඳහා පුද්ගලයන් 30 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38 ක්ද ඇතුළත් කර තිබේ.
ඒ අනුව අදාළ චෝදනා පත්රය සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණය විසින් ඉදිරි නඩු කටයුතු සඳහා දින නියම කිරීමට නියමිතය.
Comments
Moderated before publishing. Your email stays private.