Swipe left or right to navigate stories
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය ගැන පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය ගැන පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

මහජනතාවගේ සාමාකාමී ජීවිතයට, දෛනික කටයුතුවලට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක්, පීඩාවක් හෝ හිංසාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් ඇතුළු ශබ්ද උපකරණ භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, දැනට සිදුවන ශබ්ද දූෂණය හේතුවෙන් ළදරුවන්, පාසල් දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් රැසක් සෞඛ්‍යමය හා මානසික ගැටලුවලට මුහුණ දී ඇති බව නිරීක්ෂණය වී ඇති බවය.

එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නියෝග සහ පොලිසිය නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



නීතිය ක්‍රියාත්මක වන ආකාරය

අංක 38/2005 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව අධික ශබ්දය මඟින් මහජනතාවට හෝ අවට පදිංචිකරුවන්ට යම් පීඩාවක් ඇති කරන්නේ නම්, එය දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ 'මහජන පීඩාවක්' ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට බලතල පවතී.

එබැවින් නීති විරෝධී ලෙස හෝ මහජනතාවට පීඩාවක් වන පරිදි අධික ශබ්ද නිකුත් කිරීමක් සිදුවන්නේ නම්, ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 118 / 119 හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



බලපත්‍ර නිකුත් කිරීම

පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදන සහ ශ්‍රේෂ්ඨාධිකරණ උපදෙස් අනුව රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට සාමාන්‍යයෙන් අවසර හිමි නොවන නමුත්, ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථාවලදී අදාළ කරුණු සලකා බලා නීත්‍යනුකූලව අවසර ලබාදිය හැකිය.

එමෙන්ම පොලිස් අවසරය හිමිවන අවස්ථාවලදී පවා සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10.00 දක්වාද, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාද, ඉරිදා දිනවල අලුයම 12.30 දක්වාද පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර හිමිවේ.

කෙසේ වෙතත් මෙම වේලාවන් බලපත්‍රලාභීන්ට ස්වයංක්‍රීයව හිමිවන අයිතියක් නොවන අතර අදාළ අවස්ථාව සඳහා ලබා දී ඇති බලපත්‍රයේ සඳහන් කොන්දේසි සහ සීමාවලට දැඩිව අනුගත වීම අනිවාර්ය වේ.



අවසර තිබුණද නීතිය තදින්

පෙරවරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ හෝ වෙනත් වේලාවක විශේෂ අවසරයක් ලබාගෙන තිබුණද, එම ශබ්දය අදාළ පරිශ්‍රයට සීමා වන පරිදි පවත්වාගෙන යා යුතුය. අවසර පත්‍රයක් තිබූ පමණින් අසල්වැසියන්ට හෝ මහජනතාවට කරදරයක් වන ලෙස ශබ්දය පිටතට නිකුත් කිරීම තහනම් වේ.

මෙම කොන්දේසි ක්‍රියාත්මක වන්නේදැයි සෙවීමට පොලිස් නිලධාරීන් යොදවා නිරීක්ෂණය කරන අතර මහජන පැමිණිල්ලක් ලැබුණු වහාම පරීක්ෂා කර එය මහජන පීඩාවක් නම් අදාළ ක්‍රියාව නතර කිරීමට දැනුම් දෙනු ලැබේ.

පොලිස් දැනුම් දීම නොතකා තවදුරටත් අධික ශබ්දය නිකුත් කරන්නේ නම් අදාළ ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය අවධාරණය කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem