විෂ රසායනික ද්රව්ය යොදාගනිමින් අවිධිමත් ලෙස පළතුරු ඉදවා අලෙවි කිරීම වැළැක්වීම සඳහා උපරිම නීතිමය හා තාක්ෂණික පියවර ගන්නා බව අදාළ රාජ්ය ආයතන අවධාරණය කරයි.ආහාර පාලන පනතට අනුව කිසිදු රසායනිකයක් හෝ වෙනත් ද්රාවණයක් පළතුරක් සමඟ කෙලින්ම ස්පර්ශ වන පරිදි භාවිත කිරීමට ඉඩ තැබිය නොහැකි බවද මෙහිදී පෙන්වා දී ඇත.
විෂ රසායනික යොදා පළතුරු ඉදවීමේ ක්රමවේද නියාමනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ඇතුළු නිලධාරීන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය, ශ්රී ලංකා ප්රමිති ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනයේ නිලධාරීන් එක්ව සිටියහ.
පැමිණිලි රැසක්
විවිධ රසායනික ද්රව්ය යොදාගනිමින් අවිධිමත් ලෙස කෙසෙල්, අඹ, පැපොල් සහ අලිපේර වැනි පළතුරු කෘත්රිමව ඉදවා අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව අමාත්ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී අනාවරණය කළේය.
මෙම ජාවාරම මැඩපැවැත්වීම සඳහා පාරිභෝගික පනතේ සංශෝධන සිදු කළ යුතු නම් ඒ පිළිබඳව ද සොයා බලා පියවර ගන්නා බව අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විද්යාත්මක ක්රමවේද
ජාත්යන්තර වශයෙන් පිළිගත් ක්රමවේදයන්ට අනුව පළතුරු ඉදවීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අවශ්ය පුහුණුව හා තාක්ෂණික දැනුම ලබාදුන්නද, බොහෝ වෙළෙඳුන් පහසු ක්රමවේද සොයමින් මෙලෙස විෂ රසායනික භාවිතයට පෙළඹී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.
පළතුරු ඉදවීමට විෂ රසායන යොදා ඇත්දැයි තහවුරු කරගැනීමට අවශ්ය රසායනාගාර පහසුකම් කාර්මික තාක්ෂණ ආයතනය සතුව පවතින අතර එහි ඇති අධික කාර්යබහුලත්වය හේතුවෙන් පාරිභෝගික අධිකාරියටම වෙනම රසායනාගාර පහසුකම් ලබාදීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
Comments
Moderated before publishing. Your email stays private.