Swipe left or right to navigate stories
විපතට පත් නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක හදිසි ආධාර

විපතට පත් නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක හදිසි ආධාර

නේපාලයට බලපෑ විනාශකාරී හදිසි ජල ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට හදිසි සහන හා මානුෂීය ආධාර සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ උපදෙස් මත මෙම මූල්‍ය දායකත්වය ලබාදීමට පියවර ගෙන ඇත.

නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ බල පෑ හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 392 දක්වා ඉහළ ගොස් ඇති අතර 1,400 ට අධික පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



ශෝකය සහ සහයෝගය

ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති විශාල ජීවිත හානි සහ ජනතාව මුහුණ දී ඇති දැඩි පීඩාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය බලවත් කනගාටුව පළ කර තිබේ.

එමෙන්ම විපතට පත් පවුල් වෙත ශ්‍රී ලංකා රජයේ සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ සාතිශය සංවේගයද ඔහු පළ කර ඇත.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සිහිපත් කළ ජනාධිපතිවරයා, මෙම අභියෝගාත්මක සහ දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමඟ නොසැලී සිටින බව අවධාරණය කළේය.



අමාත්‍යවරුන් අතර සංවාදයක්

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛනාල් මහතා සමඟ ඊයේ පෙරවරුවේ දුරකථන සංවාදයක නිරත විය.

එහිදී ඔහු ශ්‍රී ලංකාවේ ශෝකය, සහයෝගය සහ සහෝදරත්වය නේපාල රජය වෙත පිරිනැමීමට කටයුතු කර තිබේ.

නේපාලයේ දැනට ක්‍රියාත්මක සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබාදිය හැකි වැඩිදුර සහයෝගීතා ක්‍රමවේද පිළිබඳව ද රජයේ අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem