Swipe left or right to navigate stories
විදේශ ගමන් තහනම පැනවීමට පෙරම ප්‍රේමලාල් ජයසේකර තායිලන්තයට ගොස් ඇති බව අනාවරණය වෙයි

විදේශ ගමන් තහනම පැනවීමට පෙරම ප්‍රේමලාල් ජයසේකර තායිලන්තයට ගොස් ඇති බව අනාවරණය වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවනු ලැබීමට පෙරාතුවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද සොයාබැලීමකදී අනාවරණය වී ඇත්තේ අධිකරණ නියෝගයට අනුව විදේශ ගමන් තහනම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු පසුගිය අගෝස්තු 31 වැනිදාම තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බවය.

මේ පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව පොලීසිය සඳහන් කරයි.



විදේශ ගමන් තහනම සහ අධිකරණ නියෝගය

ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට එළඹෙන ඔක්තෝබර් 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගිය සිකුරාදා (4) ඔවුන්ට එරෙහිව මෙම විදේශ ගමන් තහනම පනවන ලදී.

ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අදාළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමකට අනුව මෙම විදේශ ගමන් තහනම පනවා තිබේ.

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.



නඩුවේ පසුබිම

2015 වසරේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන රැළියක් අතරතුර කහවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව, රත්නපුර මහාධිකරණය මගින් ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා යන අයට මරණ දඬුවම නියම කෙරිණි.

කෙසේ වෙතත් පසුව අභියාචනාධිකරණය විසින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලදී. එලෙස නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව සිද්ධියෙන් මියගිය ශාන්ත දොඩංගොඩ මහතාගේ බිරිඳ විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කර ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem