Swipe left or right to navigate stories
විජයදාසගේ පුත් රඛිත ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට

විජයදාසගේ පුත් රඛිත ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට

සංවිධානාත්මක අපරාධකරු නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ ආරක්ෂා කර, බූස්ස බන්ධනාගාරයෙන් මාරු කර දීම සඳහා රුපියල් කෝටි 50 ක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි 12 ක් ලබාගත් බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන ජූලි මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හිටපු අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකව සිටි චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන්ය.



කෝටි 50 කප්පම් ඩීල් එක

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය විමර්ශනවලට අදාළ බරපතළ කරුණු රැසක් අනාවරණය කළාය.

නිර්නාමික පැමිණිල්ලකට අනුව ආරම්භ කළ මෙම විමර්ශනයේදී, සැකකාර චරිත් අබේසිංහ සහ හරක් කටාගේ ඩුබායි හි සිටින හිතවතෙකු වන හර්බි නමැත්තා අතර සිදුවූ දුරකතන සංවාදයක් සොයාගෙන ඇත.

එහිදී "මාකඳුරේ මධුෂ්ට අත් වූ ඉරණම හරක් කටාට ද අත්විය හැකි" බව පවසා ඔහුව බේරාගැනීමට නම් ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට නොයවා වෙනත් බන්ධනාගාරයකට මාරු කර දිය හැකි බව චරිත් අබේසිංහ පවසා තිබේ.

මෙම කාල වකවානුව වන විට රඛිත රාජපක්ෂගේ පියා වූ විජයදාස රාජපක්ෂ මහතා බන්ධනාගාර විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම මෙහිදී අතිශය තීරණාත්මක සාධකයකි.

ඉන්පසු 2023 මාර්තු මස 25 වැනිදා රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබායි රාජ්‍යයට ගොස් හරක් කටාගේ බිරිඳ වන මදුශානි සහ මිදිගම රුවන් නමැත්තාව මුණගැසී ඇත.

මෙම කටයුත්ත වෙනුවෙන් මුලින් රුපියල් කෝටි 50ක මුදලක් ඉල්ලා ඇති අතර පසුව එය කෝටි 20 දක්වා අඩු කරගෙන තිබේ. ඉන් රුපියල් කෝටි 12 ක මුදලක් අත්තිකාරම් වශයෙන් හරක් කටාගේ බිරිඳගෙන් ලබාගෙන ඇත.



විශේෂ අනාවරණය

මෙම ඩුබායි සංචාරය සඳහා සැකකාර රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අධිකරණ ඇමතිවරයාද සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් පොරොන්දු ඉටු නොවීම නිසා හරක් කටාගේ බිරිඳ මුදල් ආපසු ඉල්ලා ඇති අතර චරිත් අබේසිංහ විසින් මෑතකදී ඝාතනය වූ මිදිගම ලසා හෙවත් ලසන්ත වික්‍රමසේකර මාර්ගයෙන් කෝටි දෙකක මුදලක් පමණක් ආපසු ලබා දී ඇති බවද අධිකරණයේදී හෙළි විය.



සැකකරුවන්ගේ ‘ලෙඩ ලෙඩ‘ තර්ක

මෙම බරපතළ චෝදනා හමුවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ලබාගැනීම සඳහා සෞඛ්‍යමය හේතු සහ නෛතික හිඩැස් පෙන්වා දීමට දැඩි උත්සාහයක නිරත විය.

රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පැවසුවේ තම සේවාදායකයා ‘ස්ලීප් ඇප්නියා‘ (නින්දෙන් හුස්ම හිරවීමේ රෝගය) තත්ත්වයෙන් පෙළෙන බැවින් බන්ධනාගාරගත කිරීම ජීවිත අවදානමක් විය හැකි බවය.

චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයාට ස්ටෙන්ට් හතරක් දමා ඇති බවත්, "අවුරුදු 60 පැන්නට පස්සේ එන්න ඕන සියලු රෝග දැන් ඔහුට වැළඳිලා" ඇති බවත්ය.



මහේස්ත්‍රාත්ගේ ‘කදිම පිළිතුරු‘

ඉදිරිපත් වූ සියලු කරුණු සහ නීති තර්ක සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, විත්තියේ තර්ක දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.

සෞඛ්‍ය තත්ත්වයන් පෙන්වා දෙමින් ඇප ඉල්ලූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නැගූ තර්කානුකූල ප්‍රශ්නයෙන් විත්තිය නිරුත්තර විය.

“බන්ධනාගාරයකට යන්න බැරි තරම් බරපතළ රෝගී තත්ත්වයක් තියෙනවා නම්, මේ අය කොහොමද ඩුබායි ගියේ?” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා එහිදී විමසා සිටියේය.

එපමණක් නොව බන්ධනාගාරයේ තදබදය සහ පහසුකම් නැති බවට රඛිත රාජපක්ෂගේ නීතිඥයන් ගෙන ආ තර්කයට මහේස්ත්‍රාත්වරයා දුන්නේද කදිම පිළිතුරකි.

රඛිතගේ පියා (විජයදාස රාජපක්ෂ) විෂය භාර අමාත්‍යවරයාව සිටි සමයේදීම බන්ධනාගාරවල අධික තදබදයක් පවතින බව ප්‍රකාශ කර ඇති බැවින් බන්ධනාගාරයේ පහසුකම් නොමැතිකම සාමාන්‍ය තත්ත්වයක් බව අධිකරණය පෙන්වා දුන්නේය.

ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල රෝගී තත්ත්වයන් පිළිබඳව නිශ්චිත කරුණු දක්වීම් නොමැති බැවින් ඒවා ඇප ලබාදීමට තරම් ‘සුවිශේෂී කරුණු‘ ලෙස සැලකිය නොහැකි බව තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් තිදෙනාම ජූලි 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem