සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා වන සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය නම් කර ඇති අතර එහිදී කඩුලු රකින ක්රීඩක නිරෝෂන් දික්වැල්ල වසර තුනකට පසුව නැවතත් ජාතික කණ්ඩායමට කැඳවා තිබේ.
ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්ය කඩුලු රකින ක්රීඩක කුසල් මෙන්ඩිස්, මෙවර ලංකා ප්රීමියර් ලීග් තරගාවලියේ මුල් අදියරේදී කලවා ප්රදේශයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් දික්වැල්ලට මෙලෙස නැවත කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමිවී ඇත.
දික්වැල්ල අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරගයකට එක්වූයේ 2023 වසරේ නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදීය.
පසුබිම
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය එළබෙන සෙනසුරාදා ගාල්ලේදී ආරම්භ වේ.
මෙම තරගාවලිය දෙපිළටම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්රසාද ලකුණු සඳහා බලපාන අතර මේ වන විට ඉන්දියාව එහි 5 වැනි ස්ථානයේත්, ශ්රී ලංකාව 6 වැනි ස්ථානයේත් පසුවේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2025-2027 තරග වටයේ ප්රමුඛතාව ගන්නා හොඳම කණ්ඩායම් දෙක ලබන ජූනි මාසයේ පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
ශ්රී ලංකා සංචිතය
කුසල් මෙන්ඩිස් මෙන්ම ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ද ආබාධයෙන් තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති අතර ඔහු සංචිතයට ඇතුළත් නොවීම කැපී පෙනෙන අඩුවකි.
පසුගිය ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුර පැතුම් නිශ්ශංකගේ මැණික් කටුවෙහි ආබාධය තදබල විය.
කසුන් රාජිත සහ ඉසිත විජේසුන්දර වෙනුවට දිල්ෂාන් මධුශංක සහ මෙතෙක් ජාත්යන්තර වරම් ලබා නොමැති තුන්ඉරියව් ක්රීඩක කේෂර නුවන්තද මෙවර සංචිතයට එක්කර තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.