ශ්රී ලංකාවද ඇතුළුව රටවල් 12 ක සහභාගීත්වයෙන් 10 වැනි වරටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ක්රිකට් ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය හෙට (12) එංගලන්තයේදී ආරම්භ වේ.
එංගලන්තයේ බර්මින්හැම්, බ්රිස්ටල්, ලීඩ්ස්, ලන්ඩන්, මැන්චෙස්ටර් සහ සදම්ප්ටන් යන නගරවල ක්රීඩාංගණ 7 කදී පැවැත්වෙන මෙම තරගාවලිය ජූලි 5 වැනිදා නිමාවට පත්වනු ඇත.
තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්රී ලංකා ක්රීඩිකාවෝ බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්රීඩාංගණයේදී ශ්රී ලංකා වේලාවෙන් හෙට රාත්රී 11.00 ට තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.
සුදුසුකම් ලබා ගැනීම
තරගාවලියේ සත්කාරකත්වය දැරීම හේතුවෙන් එංගලන්තය ඍජුවම මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා සිටියේය.
අවසන් වරට 2024 වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ පළමු ස්ථාන 5 ට ඇතුළත්වීම හේතුවෙන් ඕස්ට්රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඊට සුදුසුකම් ලැබීය.
පාකිස්තානය සහ ශ්රී ලංකාව විස්සයි-20 ශ්රේණිගත කිරීම්වලට අනුව තරගාවලියේ ඉඩක් වෙන්කරවා ගත් අතර බංග්ලාදේශය, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය තරගාවලියට සුදුසුකම් ලැබුවේ තේරීම් තරගාවලියකට සහභාගි වෙමිනි.
ශ්රී ලංකා කණ්ඩායමේ ගමන් මග
චමරි අතපත්තුගේ නායකත්වය යටතේ තරගාවලියට සහභාගි වී සිටින ශ්රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති පෙරහුරු තරගවලදී පාකිස්තානයට එරෙහිව කඩුලු 9 ක ජයක්ද, නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 7 ක ජයක්ද වාර්තා කළේය.
‘බී‘ කාණ්ඩය යටතේ තරගාවලියට පිවිසෙන ශ්රී ලංකා ක්රීඩිකාවෝ මූලික වටය යටතේ 16 වැනිදා නවසීලන්තයට එරෙහිවත්, 21 වැනිදා කොදෙව් කණ්ඩායමට එරෙහිවත්, 23 වැනිදා අයර්ලන්තයට එරෙහිවත්, 26 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිවත් තරග බිමට පිවිසෙනු ඇත.
අවසන් පූර්ව වටය කෙරෙහි බලාපොරොත්තු රඳවාගැනීමට නම් ශ්රී ලංකාව අවම වශයෙන් මූලික වටයේදී තරග 3 වත් ජයගත යුතුව තිබේ.
මූලික වටය
මූලික වටයේදී කණ්ඩායම් 6 බැගින් වූ 'ඒ්' සහ 'බී' ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වන අතර සෑම කණ්ඩායමක්ම තමන් නියෝජනය කරන කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් සමග ලීග් ක්රමයට අනුව තරග වදිනු ඇත.
ඕස්ට්රේලියාව, ඉන්දියාව, දකුණු අප්රිකාව, පාකිස්තානය, නෙදර්ලන්තය සහ බංග්ලාදේශය ‘ඒ‘ කාණ්ඩයටද, එංගලන්තය, ශ්රී ලංකාව, නවසීලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ‘බී‘ කාණ්ඩයටද ඇතුළත්ව සිටියි.
මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් 4 තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසකම් ලබනු ඇත.
අවසන් වටය
අවසන් පූර්ව වටයේදී ‘ඒ‘ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘බී‘ කාණ්ඩයේ දෙවැනියා අතර ජුනි මස 30 වැනිදා පළමු අවසන් පූර්ව තරගයත්, ‘බී‘ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘ඒ‘ කාණ්ඩයේ දෙවැනියා අතර ජූලි මස 2 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගයත් පැවැත්වේ.
එම තරගවලදී ජය ලබන කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූලි 5 වැනිදාය.
අවසන් පූර්ව තරග දෙක ලන්ඩන් නුවර ඕවල් ක්රීඩාංගණයේදීත්, අවසන් මහ තරගය ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්රීඩාංගණයේදීත් පැවැත්වීමට අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය කටයුතු යොදා තිබේ.
ත්යාග මුදල
තරගාවලියේ ශුරතාව දිනාගන්නා කණ්ඩායම සඳහා කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 2.34 ක (රුපියල් මිලියන 780 ක) මුදල් ත්යාගයක්ද, අනු ශූරතාව හිමිකරගන්නා කණ්ඩායම සඳහා කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 1.17 ක (රුපියල් මිලියන 390 ක) මුදල් ත්යාගයක්ද පිරිනැමෙනු ඇත.
අවසන් මහ තරගයට සුදුසුකම් නොලබා අවසන් පූර්ව වටයෙන් ඉවත්වන කණ්ඩායම් දෙකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 6.75 (රුපියල් මිලියන 225) බැගින්ද, තරගාවලිය තුල ජයග්රහණය කරන සෑම තරගයක් සඳහාම ඇමරිකානු ඩොලර් 31,154 (රුපියල් මිලියන 10.37) බැගින්ද ලබා දීමට නියමිතය.
ඊට අමතරව මූලික වටය අවසානයේ කණ්ඩායම් හිමිකරගන්නා ස්ථාන අනුව 5 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වාත්, 9 වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානය දක්වාත් වෙන වෙනම මුදල් ත්යාග පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.
ඉතිහාසය
මේ දක්වා පැවැති කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි 9 න් 6 කදීම ශූරතාව තමන් සතුකර ගැනීමට ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ සමත්ව සිටිති. ඊට පිට පිටම තෙවරක් බැගින් ලෝක කුසලාන ජයගත් අවස්ථා 2 ක්ද (2010, 2012, 2014 සහ 2018, 2020, 2023) ඇතුළත් වේ.
ඕස්ට්රේලියාවට අමතරව එංගලන්තය 2009 වසරේදීත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2016 වසරේදීත්, නසීලන්ත කණ්ඩායම 2024 වසරේදීත් ලෝක කුසලානය ජයගෙන ඇත.
එහිදී එංගලන්තය අනු ශූරතා 3 කටද, නවසීලන්තය සහ දකුණු අප්රිකාව අනු ශූරතා 2 කට බැගින්ද, ඉන්දියාව සහ ඕස්ට්රේලියාව එක් අනු ශූරතාවකට බැගින්ද හිමිකම් කියා තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.