ලබන වසරේදී අ.පො.ස. සාමාන්ය පෙළ සඳහා ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයන් 7 ක් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තුවේදී රැස්වූ අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී අනාවරණය වී තිබේ.
අගමැතිනි, අධ්යාපන හා උසස් අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්රධානත්වයෙන් පසුගියදා මෙම රැස්වීම පැවැත්විණි.
නව විෂයමාලා සහ මොඩියුල හඳුන්වාදීම
මීට අමතරව, 10 සහ 11 ශ්රේණිවල සිට වෘත්තීය අධ්යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාරධර්ම මොඩියුලර් ඇතුළත් කිරීමටත් සැලසුම් කර ඇති බව මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.
2027 වසරේ සිට ක්රියාත්මක කිරීමට නියමිත සාමාන්ය අධ්යාපන ප්රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්යාපන ප්රතිසංස්කරණවල ප්රගතිය පිළිබඳවද අනුකාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
ආරම්භක පියවර සහ ගුරු පුහුණුව
සාමාන්ය අධ්යාපන ප්රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්රේණි සඳහා අවශ්ය ක්රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල දැනටමත් සකස් කර ඇති අතර ඊට අදාළ ගුරු පුහුණු වැඩසටහන්ද ක්රියාත්මක වෙමින් පවතින බව සඳහන් විය.
එමෙන්ම නව අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
ජාතික පෙර පාසල් අධ්යාපන ප්රතිපත්තිය
පෙර පාසල් අධ්යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්යාපන ප්රතිපත්තියක් සකස් කර ඇති අතර පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීම ඇතුළු කටයුතුද සිදු කෙරෙමින් පවතී.
මෙම අවස්ථාවට අධ්යාපන සහ උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
Comments
Moderated before publishing. Your email stays private.