Swipe left or right to navigate stories
ලංකා මෙට්‍රෝ ප්‍රවාහන සේවයට අගෝස්තු මාසයේදී නව බස් රථ 104 ක්

ලංකා මෙට්‍රෝ ප්‍රවාහන සේවයට අගෝස්තු මාසයේදී නව බස් රථ 104 ක්

මෑතකදී ආරම්භ කරන ලද 'ලංකා මෙට්‍රෝ ප්‍රවාහන බස් සේවාව' තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පහත් බිම් සහිත නව බස් රථ 104 ක් ලබන අගෝස්තු මාසයේදී මෙරටට ආනයනය කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වූ ගිවිසුමකට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම අතර අද (19) අත්සන් තැබිණි.

එම ගිවිසුමට අනුව මෙම නවීන බස් රථ 104 මෙරටට ආනයනය කිරීමේ කටයුතු අගෝස්තු 15 වැනිදා වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.



නව මෙට්‍රෝ සේවා අංගන

බස් රථ ධාවන කටයුතු සඳහා බස් නැවතුම් සහ නඩත්තු අංගන බස්නාහිර පළාතේ කඩවත සහ රත්මලාන යන ප්‍රදේශවල මේ වන විට ඉදිකරමින් පවතී.

ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ අගෝස්තු මාසයේදී මෙම බස් රථ හඳුන්වා දීමෙන් මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කරන බවය.

දැනට මෙට්‍රෝ බස් සේවා අංගනයක් ඉදිකර ඇත්තේ මාකුඹුර ප්‍රදේශයේ පමණක් වන අතර මෙට්‍රෝ බස් රථ මාකුඹුරේ සිට කඩවත සහ කොළඹ දක්වා ධාවනය වේ.



මෙට්‍රෝ බස් සේවාවේ ආරම්භය

විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ ප්‍රවාහන කටයුතු පහසු කිරීම සඳහා පහත් පියගැටපෙළ සහිත ප්‍රමුඛතා බස් සේවාවක් ලෙස මෙම මෙට්‍රෝ බස් සේවාව පසුගිය අප්‍රේල් 21 වැනිදා මෙරටට හඳුන්වා දෙන ලදී.

මෙහි නියමු ව්‍යාපෘතිය යටතේ රෝද පුටු භාවිතා කරන්නන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි විශේෂයෙන් සැලසුම් කරන ලද නවීන, වායුසමනය කළ, පහත් බිම් සහිත බස් රථ 10 ක් ධාවනයට එක් කෙරිණි.

මෙම සේවාව දැනට මාකුඹුරේ සිට පිටකොටුව සහ කඩවත දක්වා ධාවනය වන අතර එහි ගමන් මාර්ගය ඔස්සේ මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල වැනි ප්‍රධාන සෞඛ්‍ය ආයතනද ආවරණය කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem