Swipe left or right to navigate stories
ලංකාවේ අපනයන ආදායම 2026 පළමු මාස 7 දී ඩොලර් බිලියන 10 පනී

ලංකාවේ අපනයන ආදායම 2026 පළමු මාස 7 දී ඩොලර් බිලියන 10 පනී

ගෝලීය වෙළෙඳපොළේ පවතින අවිනිශ්චිතතාවන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදීද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යමින්, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත සහ ඇස්තමේන්තුගත අගයන්ට අනුව 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර එය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.5% ක වර්ධනයකි.



භාණ්ඩ හා සේවා අංශ

සමස්ත අපනයන ඉපැයීම් සඳහා ප්‍රධානතම දායකත්වය භාණ්ඩ අපනයන අංශයෙන් හිමි වූ අතර 2026 ජනවාරි-ජූලි කාලය තුළ ඉන් ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,188.32 කි. මෙය පෙර වසරට සාපේක්ෂව 5.05% ක වැඩිවීමකි.

මේ අතර සේවා අපනයන අංශයද අඛණ්ඩ ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කරමින් පළමු මාස හත තුළ ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 2,299.48 ක ආදායමක් උපයා ඇති අතර එය 7.02% ක වර්ධනයකි.



2026 ජූලි මාසයේ ප්‍රගතිය

2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,637.26 ක් දක්වා ළඟා වූ අතර එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 2.63% ක වර්ධනයකි.

ජූලි මාසයේ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,285.31 ක් (1.3% ක සුළු අඩුවීමක්) වූ අතර සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 351.92 ක් දක්වා 3.75% කින් වර්ධනය වී තිබේ.



සභාපතිවරයාගේ අදහස්

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සඳහන් කළේ පළමු මාස හත තුළ ඩොලර් බිලියන 10 සීමාව පසුකර යෑම ශ්‍රී ලංකා අපනයන ප්‍රජාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ අධිෂ්ඨානය මනාව පිළිඹිබු කරන සුවිශේෂී ජයග්‍රහණයක් බවය.

පවතින අපනයන අංශවල තරඟකාරීත්වය ශක්තිමත් කරන අතරම නව නිෂ්පාදන, සේවා සහ වෙළෙඳපොළවල් හඳුනාගනිමින් මෙම වර්ධන වේගය ඉදිරියට ගෙනයාම ප්‍රමුඛතාවය විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

තවද තිරසාර වර්ධනයක් සඳහා ඉහළ අගය එකතු කිරීම්, නවෝත්පාදන, තාක්ෂණය වැළඳගැනීම සහ ගෝලීය අගය දාමයන් සමඟ ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය වන බවත්, ඒ සඳහා සියලු පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem