ලෝක මලල ක්රීඩා අල්ටිමේට් ශූරතාව දිනූ ජාතික හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග සංචාරය නිමා කර මෙරටට පැමිණීමේදී, ඔහු ජයග්රහණ සඳහා භාවිත කළ හෙල්ල පහම පැමිණි ගුවන් යානය තුළදී කැඩී බිඳී සම්පූර්ණයෙන්ම හානියට පත්ව තිබේ.
ඔහු මෙම සංචාරය නිමා කර මෙරටට පැමිණ ඇත්තේ තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.
වාර්තා තැබූ හෙල්ල හානියට පත්වෙයි
මෙලෙස හානියට පත් හෙල්ල අතර බුඩාපේස්ට්හිදී මීටර් 91.09ක දුරක් වාර්තා කළ හෙල්ල මෙන්ම රෝම ඩයමන්ඩ් ලීගයේදී මීටර් 92.62 ක පෞද්ගලික හොඳම දුර වාර්තා කිරීමට භාවිත කළ හෙල්ලද ඇතුළත් වේ.
මෙම විශේෂිත හෙල්ල කට්ටලයේ සමස්ත මූල්ය වටිනාකම රුපියල් ලක්ෂ 25කට (ඇමෙරිකානු ඩොලර් 8,000කට ආසන්න) අධික බව වාර්තා වේ.
ගුවන්තොටුපළ පැමිණිල්ල සහ අමාත්යාංශයේ මැදිහත්වීම
කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේදී ගමන් බඩු භාරගන්නා ස්ථානයේදී මෙම හානිය නිරීක්ෂණය වීමෙන් පසු, අදාළ ගුවන් සමාගමට එරෙහිව ගුවන්තොටුපළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට රුමේෂ් තරංග පියවර ගෙන තිබේ.
සිදුවූ හානිය සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි කර වන්දි ලබාගැනීමේ නිල ක්රියාපටිපාටිය සක්රිය කර ඇති බවත්, ඉදිරි පුහුණුවීම් සඳහා නව හෙල්ල කට්ටලයක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
මීට අමතරව ශ්රී ලංකා මලල ක්රීඩා සංගමය විසින්ද ජාත්යන්තර මලල ක්රීඩා සම්මේලනය සහ අදාළ ගුවන් සමාගම වෙත මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමට කටයුතු කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.