නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක් (රු. 7,050,000) වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ත් 32ත් අතර පසුවන ව්‍යාපාරිකයින් තිදෙනෙකි.
ජාවාරම සිදුකළ ආකාරය සහ අත්අඩංගුවට ගත් තොගය
සැකකරුවන් විසින් මෙම දුම්වැටි තොගය චීනයෙන් මිලදී ගෙන, මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ ඇති අතර එතැන් සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ AK-045 දරන ගුවන් යානයෙන් අද දහවල් 12.15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔවුන් රැගෙන ආ ගමන් මලු 03ක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ දුම්වැටි කාටූන් 235ක් සොයාගෙන ඇති අතර එහි තිබී විවිධ වර්ගයේ චීන දුම්වැටි 47,000ක් රේගු නිලධාරීන් විසින් භාරයට ගනු ලැබ ඇත.
රේගු පරීක්ෂණයෙන් පසු දුම්වැටි රාජසන්තක කෙරේ
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදුකරන ලද විධිමත් රේගු පරීක්ෂණයකින් අනතුරුව, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ එම සියලුම දුම්වැටි තොගය රාජසන්තක කිරීමට පියවර ගෙන තිබේ.
ඊට අමතරව අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයින් තිදෙනාට රුපියල් 175,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.