කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයාගේ සහ විවිධ රජයේ ආයතනවල නිල මුද්රා කූඨ ලෙස සකස් කර සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ලබන ජූලි මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (19) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා අධිකරණය හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ සෝදිසි වරෙන්තුවකට අනුව පළමු සැකකරුගේ නිවස පරීක්ෂා කළ බවය.
ව්යාජ මුද්රා තොගය
එහිදී "මහේස්ත්රාත් වෙනුවෙන් රෙජිස්ට්රාර් කොළඹ" ලෙස ව්යාජව සකස් කරන ලද කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ නිල මුද්රාවක් සොයා ගැනීමට හැකි වූ බව ඔවුහු පැවසූහ.
ඊට අමතරව ව්යාජ ලෙස සකස් කරන ලද ඉඩම් රෙජිස්ට්රාර් කාර්යාලවල නිල මුද්රා, නොතාරිස්වරුන් සහ වෛද්යවරුන්ගේ මුද්රා, විදුහල්පතිවරුන්ගේ මුද්රා, මහ නගර සභා සහ ප්රාදේශීය සභා නිලධාරීන්ගේ මුද්රා ඇතුළු රාජ්ය ආයතන රැසක නිල මුද්රා විශාල සංඛ්යාවක් එම නිවසේ තිබී සොයාගත් බව විමර්ශන නිලධාරීහු අධිකරණයට ප්රකාශ කළහ.
මෙම කූඨ මුද්රා තොගය විධිමත් පරීක්ෂණයක් සඳහා ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසද ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඉඩම් ඔප්පු ජාවාරම
විමර්ශනවලදී හෙළි වූ තොරතුරු අනාවරණය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ පළමු සැකකරුගේ උපදෙස් හා අනුදැනුම මත දෙවැනි සහ තුන්වැනි සැකකරුවන් විසින් දෙල්කඳ ඉඩම් රෙජිස්ට්රාර් කාර්යාලයේ තැන්පත් කර තිබූ ඉඩම්වල මුල් ඔප්පු සොරකම් කර ඇති බවය.
පසුව ඒවා පළමු සැකකරු වෙත රුපියල් ලක්ෂයකට අධික මුදලකට විකිණීම සිදු කර ඇති බවද අනාවරණය වී ඇත.
සැකකරුවන් ඉතා සංවිධානාත්මක අයුරින් කටයුතු කරමින් දිවයිනේ විවිධ ප්රදේශවල පිහිටි ඉඩම් ගණනාවක ව්යාජ ඔප්පු සකස් කර ඇති බවට කරුණු හෙළි වී ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන තවදුරටත් ක්රියාත්මක බැවින් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් නිලධාරීහු ඉල්ලා සිටියහ.
Comments
Moderated before publishing. Your email stays private.