හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහා බ්රිතාන්යයේ සංචාරය කරන ලද්දේ සිය විශ්වවිද්යාලයේ නිල ආරාධනයකට අනුව බව එක්සත් රාජධානියේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්යාලය යළි තහවුරු කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය එක්සත් රාජධානි රජයේ ආරාධනාවක් මත සිදුවූවක් නොව, විශ්වවිද්යාලයේ ඇරයුමකට අනුව සිදුවූවක් බවද එම විශ්වවිද්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
සංචාරයන් අතර වෙනස
මෙම සිදුවීමත් සමඟ රාජ්ය සංචාරයක් සහ නිල සංචාරයක් අතර පවතින පැහැදිලි වෙනස පිළිබඳවද වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්යාලය විසින් කරුණු පෙන්වා දී ඇත.
ඒ අනුව රාජ්ය සංචාරයකදී ආරාධිත රාජ්ය නායකයා ගුවන් යානයෙන් බැසීමේ සිට නැවත පිටත්ව යාම සඳහා ගුවන් යානයට ගොඩවන තෙක් සිදුවන සියලුම වියදම් දරනු ලබන්නේ එක්සත් රාජධානිය විසිනි. එමෙන්ම රාජ්ය සංචාරයක් සිදුවන්නේ තවත් රාජ්ය නායකයෙකුගේ සෘජු ආරාධනය මත පමණි.
එක්සත් රාජධානිය විසින් ශ්රී ලංකාවට රාජ්ය සංචාරයක් සඳහා අවස්ථාව ලබා දී ඇත්තේ ඉතිහාසයේ එක්වරක් පමණක් වන අතර ඒ හිටපු ජනාධිපති රණසිංහ ප්රේමදාස මහතාගේ පාලන සමයේදීය.
නිල සංචාරයක්
වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්යාලයේ පැහැදිලි කිරීමට අනුව රනිල් වික්රමසිංහ මහතාගේ මෙම සංචාරය රාජ්ය නායකයෙකුගේ මට්ටමින් සිදුවූ 'රාජ්ය සංචාරයක්' නොව, අධ්යයන හා ශාස්ත්රීය ක්ෂේත්රයේ ආයතනයක් විසින් නිල වශයෙන් සිදුකරන ලද 'නිල සංචාරයක්' වේ.
ජාත්යන්තර සබඳතාවලදී රාජ්ය නොවන ආයතන, විශ්වවිද්යාල හෝ ජාත්යන්තර සංවිධාන මගින් රාජ්ය තාන්ත්රිකයන් සහ හිටපු නායකයන් වෙත මෙවැනි නිල ආරාධනා පිරිනැමීම සාමාන්ය ක්රමවේදයකි.
ඒ අනුව මෙම සංචාරයේ වගකීම් සහ අරමුණු සම්පූර්ණයෙන්ම විශ්වවිද්යාලයේ ආරාධිත රාමුව තුළ පමණක් සිදුවූවක් බව විශ්වවිද්යාල බලධාරීන් අවධාරණය කරයි.
Comments
Moderated before publishing. Your email stays private.