Swipe left or right to navigate stories
රටට අවශ්‍ය මානව සම්පත හදන්න වෘත්තීය අධ්‍යාපනයට වැඩි ආයෝජනයක්

රටට අවශ්‍ය මානව සම්පත හදන්න වෘත්තීය අධ්‍යාපනයට වැඩි ආයෝජනයක්

වෘත්තීය අධ්‍යාපනය සඳහා වැඩි ආයෝජනයක් සිදු කරමින්, රටේ ආර්ථික සංවර්ධනය සඳහා සෘජුව දායක විය හැකි බලගතු මානව සම්පතක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන පද්ධතිය මගින් ජාතික වෘත්තීය සුදුසුකම් සහතික මිලියනයක් පිරිනමා අවසන් බව සනිටුහන් කිරීම වෙනුවෙන් ඊයේ (12) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති විශේෂ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී NVQ සහතික පත්‍ර මිලියනයක් නිකුත් කිරීම සඳහා දායක වූ වෘත්තීය හා තාක්ෂණික පුහුණු ආයතනවලට සම්මාන පිරිනැමීම සිදුකෙරුණු අතර දස ලක්ෂවෙනි NVQ සහතිකය හිමිකරගත් සිසුවාට අදාළ සහතිකපත්‍රය පිරිනැමීමද අග්‍රාමාත්‍යවරිය අතින් සිදුවිය.



නව ප්‍රතිසංස්කරණ

උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ මෙය හුදෙක් ඉලක්කමක සැමරුමක් පමණක් නොව, තරුණ තරුණියන් ලක්ෂ 10 කගේ මහන්සිය, කැපවීම සහ අනාගත සිහින සැබෑ වූ අවස්ථාවක් බවය.

ඉදිරි වසර පහ සඳහා වන වෘත්තීය අධ්‍යාපන සැලැස්ම මේ වන විටත් හඳුන්වා දී ඇති අතර මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට විශාල ආයෝජනයක් කිරීමට නියමිතය.

එමෙන්ම උසස් පෙළ වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුහුණුව ලබාදීමට පෞද්ගලික අංශයේ දායකත්වය අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය.



අධ්‍යාපන රටාව

මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා ප්‍රකාශ කළේ රටක සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනය සපයන දායකත්වය සුළුපටු නොවන බවය.

කිසිදු සිසුවෙකු මග නොහැරෙන සේ සෑම අයෙකුම විධිමත් අධ්‍යාපන රටාවකට යොමු කිරීම රජයේ වගකීම බව පැවසූ ඒ මහතා, වෘත්තීය අධ්‍යාපනයේ වටිනාකම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද පැවසීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ වෘත්තීය පුහුණු ආයතනවල සභාපතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem