නේපාලයේ භෝතේ කෝෂි නදිය ආශ්රිතව හටගත් දැවැන්ත ගංවතුර තත්ත්වය හේතුවෙන් රසුවා, නුවාකොට්, ඩාඩිං ඇතුළු දිස්ත්රික්කවල සිදු වූ ඛේදවාචකය වෙනුවෙන් නේපාල රජයට සහ ජනතාවට ශ්රී ලංකාවේ සහයෝගය පළ කරමින් අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්ය පරිත්යාගයක් ප්රදානය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, ශ්රී ලංකා රජය විසින් ලබා දෙන බවට පොරොන්දු වූ පරිදි මෙම මූල්ය ආධාරය නේපාලයේ ශ්රී ලංකා තානාපති රුවන්ති දෙල්පිටිය මහත්මිය විසින් නේපාල රජය වෙත නිල වශයෙන් භාර දී ඇත.
කාත්මණ්ඩු නුවර පිහිටි නේපාල විදේශ අමාත්යාංශයේදී පැවැති හමුවකදී මෙම මූල්ය ආධාරය නේපාලයේ විදේශ අමත්ය ශිෂිර් ඛනාල් මහතා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.
ශෝකය පළ කිරීම සහ සහන සැලසීම
මෙම හමුවේදී තානාපති රුවන්ති දෙල්පිටිය මහත්මිය, ශ්රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය සහ සහයෝගීතාව ප්රකාශ කළ අතර ව්යසනයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙතද සිය ශෝකය පළ කළාය.
නේපාල රජය විසින් ක්රියාත්මක කරනු ලබන මානුෂීය සහන සහ යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීම මෙන්ම, ගංවතුර හා නායයෑම්වලින් විපතට පත් ප්රජාවන්ට උපකාර කිරීම මෙම මූල්ය ආධාරයේ ප්රධාන අරමුණ වේ.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා
මෙම ආධාර ප්රදානය කිරීම හරහා ශ්රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්රත්වය, සහයෝගීතාව සහ සමීප සබඳතා තවදුරටත් තහවුරු වන බවත්, දුෂ්කර අවස්ථාවලදී නේපාලය සමඟ අත්වැල් බැඳගෙන සිටීමට ශ්රී ලංකාව නිරන්තරයෙන්ම සූදානම් බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
තවද නේපාලයේ සහන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් ඉදිරියටත් නේපාල රජය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්රී ලංකා රජය බලාපොරොත්තු වන බවද එහිදී සඳහන් කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.