Swipe left or right to navigate stories
යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩගේ අල්ලස් නඩුව ඔක්තෝබර් 13 කැඳවයි

යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩගේ අල්ලස් නඩුව ඔක්තෝබර් 13 කැඳවයි

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් 13 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (17) නියම කළේය.

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය යනු නඩුවක් විධිමත් ලෙස විභාගයට ගැනීමට පෙර පාර්ශ්වකරුවන් සහ විනිසුරුවරයා අතර පැවැත්වෙන මූලික නීතිමය සාකච්ඡාවක් වන අතර 2017 අංක 8 දරන සංශෝධනය මඟින් සිවිල් නඩු විධාන සංග්‍රහයට එක් කළ අනිවාර්ය පියවරකි.

ඇප මත සිටින විත්තිකරුවන් දෙදෙනාම අද දින කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පෙනී සිටියහ.



ලේඛන භාරදීම පිළිබඳ නියෝගය

එහිදී කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින්, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිණි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ විත්තිය ඉල්ලා සිටින ඇතැම් ලේඛන අධිකරණයට භාරදී ඇති බැවින් ඒවා ලබාදීමට නොහැකි මුත් කොමිසම සතුව පවතින ලේඛන ලබාදිය හැකි බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, අධිකරණය භාරයේ පවතින විත්තිය ඉල්ලා සිටි ලේඛන නියමිත ගාස්තුවට යටත්ව ලබාදීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.

එමෙන්ම අල්ලස් කොමිසම සතුව පවතින සෙසු අදාළ ලේඛන ඇත්නම් ඒවාද විත්තියට ලබාදීමට කටයුතු කරන ලෙස වැඩිදුරටත් නියම කෙරිණි.



චෝදනාවල පසුබිම

2006 වසරේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස බඳවා ගැනීම සහ පැවති පටිපාටියෙන් බැහැරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට රජයේ මුදල් වැය කර සහභාගි කරවීම තුළින් දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem