හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්, යෝෂිත රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (17) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරින ලදි.
ඒ මහතා ශ්රී ලංකා නාවික හමුදාවට බැඳීම සහ බ්රිතාන්ය නාවික හමුදා ඇකඩමියේ පුහුණුව ලැබීමට අදාළව සිදුව ඇති බව කියන අක්රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඊයේ (16) දිනයේ කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම්දීම නිසා අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව යෝෂිත රාජපක්ෂ මහතා අද උදෑසන එහි පැමිණි අතර ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට පත්විය.
එල්ල වී ඇති චෝදනා
අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලට අනුව යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳීමේදී මෙන්ම විදේශ පුහුණුව ලැබීමේදීද බරපතළ මූලික සුදුසුකම් උල්ලංඝනය කිරීම් සහ ක්රියා පටිපාටි සංශෝධනය කිරීම් සිදුව ඇති බව හෙළිව තිබේ.
සාමාන්ය ක්රමවේදයට අනුව නාවික හමුදාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස බඳවා ගන්නා අපේක්ෂකයෙකු උසස් පෙළ විභාගය ජීව විද්යා හෝ ගණිත අංශයෙන් සමත්ව තිබිය යුතු වුවද, කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා තිබූ යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් එම නිර්දේශ කර තිබූ සුදුසුකම් පවා සංශෝධනය කර නැවත දැන්වීම් පළ කර බඳවා ගැනීම සිදුකර ඇති බව අල්ලස් කොමිසම අනාවරණය කරගෙන ඇත.
ඇප පිට නිදහස් කිරීම
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (17) නියෝග කළේය.
එමෙන්ම සැකකරුට විදේශ ගමන් තහනමක් පනවන බවටද මහෙස්ත්රාත්වරයා දැනුම් දෙනු ලැබීය.
අල්ලස් කොමිසමේ නිලධාරිණියන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
Comments
Moderated before publishing. Your email stays private.