මෙම වසරේ (2026) යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජයේ නිල ක්රියාවලිය ආරම්භ කිරීමත් සමග, දින 4ක කාලය තුළ පමණක් වී මෙට්රික් ටොන් 305ක තොගයක් මිලදී ගැනීමට හැකි වී ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.
පසුගිය ජූලි 13 වැනිදා සිට 17 වැනිදා දක්වා වූ කෙටි කාල සීමාව තුළ මෙම වී තොගය මිලදී ගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.
වැඩිම අස්වැන්න අම්පාරෙන්
සභාපතිවරයා පෙන්වා දෙන්නේ මේ වන විට දිවයිනේ විශාලතම වී අස්වැන්න මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්රික්කයෙන් බවය.
මීට අමතරව මුලතිව්, කිලිනොච්චි, වව්නියාව සහ හම්බන්තොට යන දිස්ත්රික්කවලින්ද ඉහළ වී තොග ප්රමාණයක් මිලදී ගැනීමට මණ්ඩලයට හැකි වී තිබේ.
වැඩිම වී අස්වනු නෙලන ප්රදේශ කේන්ද්ර කර ගනිමින් වී ගබඩා විවෘත කර ඇති අතර මේ වන විට දිවයින පුරා ස්ථාන 143ක පිහිටි වී ගබඩා මඟින් සක්රීයව වී මිලදී ගැනීම් සිදු කෙරේ.
නියමිත වී මිල ගණන්
ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් රජය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් සඳහා ස්ථාවර මිල ගණන් ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක මුදලකටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130ක මුදලකටත් මිලදී ගැනීමට තීරණය කර ඇත. එමෙන්ම කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 140ක පාලන මිලක් නියම කර තිබේ.
මෙම මිල ගණන් යටතේ කිසිදු අතරමැදියෙකුගෙන් තොරව ගොවි ජනතාවට තම අස්වැන්න සෘජුවම රජයේ ගබඩා වෙත අලෙවි කිරීමේ අවස්ථාව පවතින බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Moderated before publishing. Your email stays private.