Swipe left or right to navigate stories
මෙරට සයිබර් වංචා මධ්‍යස්ථාන මැඩලීමට සහය වීමට විශේෂ FBI කණ්ඩායමක්

මෙරට සයිබර් වංචා මධ්‍යස්ථාන මැඩලීමට සහය වීමට විශේෂ FBI කණ්ඩායමක්

සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන මූල්‍ය වංචා මැඩපැවැත්වීමට සහ දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාලවල මෙහෙයුම් අඩපණ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) විශේෂ කණ්ඩායමක් නොවැම්බර් 16 සිට 22 දක්වා කොළඹට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීමක් මත FBI ආයතනයේ චාලට් (Charlotte) ක්ෂේත්‍ර කාර්යාලයට අනුයුක්ත මෙම කණ්ඩායම මෙරටට පැමිණෙන්නේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේද සම්බන්ධීකරණ සහය ඇතිවය.

මෙම සංචාරය මඟින් මෙරට ක්‍රියාත්මක වන වංචා මධ්‍යස්ථාන මැඩපැවැත්වීම සඳහා FBI ආයතනය සහ ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර අඛණ්ඩ සහයෝගීතාවක ආරම්භය සනිටුහන් කෙරේ.



ඩිජිටල් සාක්ෂි විශ්ලේෂණය සහ ශක්තිමත් නඩු ගොනු කිරීමට තාක්ෂණික සහාය

මෙම සංචාරය අතරතුර FBI නිලධාරීන් විසින් විමර්ශන ක්‍රමවේද, ඩිජිටල් සාක්ෂි විශ්ලේෂණය සහ නඩු විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මෙරට විමර්ශන නිලධාරීන් සමඟ එක්ව කටයුතු කිරීමට නියමිතය.

මෙම ඒකාබද්ධ මෙහෙයුම හරහා අන්තර්ජාල වංචාවලට ගොදුරු වූ පුද්ගලයින් හඳුනා ගැනීමටත්, අපරාධ ක්‍රියාකාරකම්වල ගමන් මඟ සොයා ගැනීමටත්, අපරාධකරුවන්ට එරෙහිව ශක්තිමත් නඩු ගොනු කිරීමටත් විමර්ශකයන්ට හැකියාව ලැබේ.

එමෙන්ම සයිබර් අපරාධ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීම වැළැක්වීමේ මෙරට බලධාරීන්ගේ හැකියාවද මෙමඟින් තවදුරටත් ශක්තිමත් වනු ඇත.



"අපරාධ ජාල නැවැත්වීමට අපි කැපවී සිටිමු" – ඇමරිකානු තානාපති

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා ප්‍රකාශ කළේ විදේශ රටවල ක්‍රියාත්මක වන අපරාධ ජාල ඩොලර් බිලියන ගණනක් සොරකම් කරමින් සිටින බවත්, එම ජාල නැවැත්වීමට එක්සත් ජනපදය කැපවී සිටින බවත්ය.

FBI ආයතනයේ විමර්ශන පිළිබඳ විශේෂඥ දැනුම සහ උසස් තාක්ෂණය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව යොදා ගැනීම තුළින් වංචාවලට හසුවූවන් හඳුනා ගැනීමටත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමටත්, තවත් ඇමරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයන් මෙවැනි වංචාවලට ගොදුරු වීම වැළැක්වීමටත් හැකි වනු ඇතැයි තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem