ශ්‍රී ලාංකේය පාපන්දු ක්‍රීඩාව නැවත පණගැන්වීම සහ ඉදිරි වසර හතරක සංවර්ධන චක්‍රය තුළ එය දිවයිනේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව බවට පත්කිරීම අරමුණු කරගත් ජාතික වැඩසටහනක් ආරම්භ කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාත්‍යන්තර සබඳතා, යටිතල පහසුකම් සංවර්ධනය සහ දක්ෂතා වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරි වසර හතර තුළ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඇමරිකානු ඩොලර් මිලියන 25ක (රුපියල් බිලියන 7.5කට අධික) මූල්‍ය ආධාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අසර්බයිජානයේදී පැවැති සාර්ථක සාකච්ඡා
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අසර්බයිජානයේ බාකු නුවරදී ෆීෆා සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන් අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතාද ඊට එක්ව සිටියේය.
පසුගිය වසර දෙක තුළ මෙරට පාපන්දු ක්‍රීඩාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඊළඟ මට්ටමට ගෙන යාම සඳහා නිරන්තරයෙන් සහයෝගය ලබාදීමට ෆීෆා ආයතනය මෙහිදී නැවත වරක් සහතික වී තිබේ.
සැම දිස්ත්‍රික්කයකටම පාපන්දු ක්‍රීඩාංගණයක් සහ නව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්
මෙම සංවර්ධන සැලසුම යටතේ දිවයින පුරා යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීමට නියමිත අතර එහිදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පූර්ණ ලෙස අනුකූල වන නවීනතම පාපන්දු ක්‍රීඩාංගණයක් ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීමට තීරණය කර ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාපන්දු ක්‍රීඩාංගණ ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය ලබන වසරේ (2027) සිට නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
සාමාජික ලීග හරහා 2031 වසර අවසන් වන විට දිවයින පුරා පාපන්දු ක්‍රීඩාංගණ 40කට ආසන්න සංඛ්‍යාවක් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැලසුම් කර තිබේ.
සෑම ක්ෂේත්රයකටම නව අවස්ථා
ලබන වසරේ සිට ක්‍රියාත්මක වන මෙම සමග්‍ර වැඩසටහන හරහා ජාතික සහ යොවුන් කණ්ඩායම්, කාන්තා පාපන්දු, පුහුණුකරුවන් මෙන්ම විනිසුරුවන්ගේද ක්ෂේත්රීය සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කෙරෙනු ඇත.
මෙමඟින් ග්‍රාමීය මට්ටමේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ කුසලතා ජාතික සහ ජාත්‍යන්තර තලයට ගෙන යාමට නුදුරේදීම පුළුල් මංපෙත් විවර වනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.
Comments
Moderated before publishing. Your email stays private.