Swipe left or right to navigate stories
මෙට්‍රෝ බස් 104 ක් කොළඹ අවට මාර්ග 7 ක් ඔස්සේ හෙට සිට ධාවනයට

මෙට්‍රෝ බස් 104 ක් කොළඹ අවට මාර්ග 7 ක් ඔස්සේ හෙට සිට ධාවනයට

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස සහ මහජනතාවට සුවපහසු මෙන්ම ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් තහවුරු කිරීමේ අරමුණින්, අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ 104 ක් හෙට (29) සිට ධාවනයට එක්කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව බස් රථ සේවාව නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත බව මෙට්‍රෝ බස් සමාගම පවසයි.

ලබන වසරේ (2027) සිට කොළඹින් පිට පළාත් සඳහාද මෙම මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව යාපනය, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලද මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.



ධාවන මාර්ග සහ විධිමත් කාලසටහන

මෙම නව බස් රථ සේවාව බස්නාහිර පළාතේ කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රධාන මාර්ග 7 ක් ඔස්සේ ධාවනය කරවීමට සැලසුම් කර ඇත. ඒ දැනට ක්‍රියාත්මක මාර්ග 2 ට අමතරව නව මාර්ග 5 ක්ද සහිතවය.

ඒ්කල-බත්තරමුල්ල, මිලේනියම් සිටි-කොළඹ කොටුව, කැස්බෑව-පිට කොටුව, පානදුර-දෙමටගොඩ සහ කොල්ලුපිටිය වටවුම එම නව මාර්ග 5 ලෙස හැඳින්විය හැකිය.

මගීන්ට ප්‍රමාදයකින් තොරව නියමිත මාර්ග සහ වේලාවන් අනුව තම ගමනාන්ත වෙත ළඟා විය හැකි වන පරිදි විධිමත් කාලසටහනක් යටතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බවද සඳහන් වේ.



පෞද්ගලික වාහන භාවිතය අවම කිරීමේ අරමුණ

මේ පිළිබඳව අදහස් දක්වමින් මෙට්‍රෝ බස් සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න මහතා සඳහන් කළේ, මෙම නව බස් රථ හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණක් වන්නේ කොළඹට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව විශේෂයෙන්ම එක් මගියෙකු පමණක් ගමන් කරන වාහන සංඛ්‍යාව අවම කිරීම බවය.

වර්තමානයේ බොහෝ දෙනෙකු කාර්යාල වෙත යාමට සහ ඒම සඳහා පෞද්ගලික වාහන භාවිතා කරන බවත්, බොහෝ විට එක් වාහනයක ගමන් කරන්නේ එක් පුද්ගලයෙකු පමණක් බැවින් දෛනික ගමනාගමනය සඳහා විශාල වාහන සංඛ්‍යාවක් එකතු වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

දෛනික ගමනාගමනය සඳහා පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට මහජනතාව දිරිමත් කිරීම මගින් තදබදයට විසඳුම් සෙවිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem