Swipe left or right to navigate stories
මෙට්‍රො බස් සේවාවේ 3 වැනි ඩිපෝ අංගනය ඒකල දී මෙහෙයුම් අරඹයි

මෙට්‍රො බස් සේවාවේ 3 වැනි ඩිපෝ අංගනය ඒකල දී මෙහෙයුම් අරඹයි

මෙරට නාගරික පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද මෙට්‍රො බස් රථ සේවාවට පහසුකම් සැපයීමට ඉදිකරන ලද තුන්වන ඩිපෝ අංගනය ජා-ඇල, ඒකල දී ඊයේ (09) සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

මෙම ආරම්භක උත්සවය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.



නව මාර්ගය සහ බස් නැවතුම්

මෙට්‍රො බස් ව්‍යාපෘතියේ මෙහෙයුම් හා පරිපාලන සේවා ආරම්භ කළ මෙම ඒකක ඩිපෝව මූලික කර ගනිමින්, නව මෙට්‍රො බස් රථ 20 ක් ධාවනයට එක් කිරීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඒකල සිට කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම දක්වා දිවෙන මෙම මෙට්‍රො බස් මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 29.9කි. මගී ජනතාවගේ ගමනාගමන පහසුව උදෙසා මෙහි බස් නැවතුම් ස්ථාන 21ක් ස්ථාපිත කර ඇත.

ස්ථාපිත බස් නැවතුම් 21: තලංගම, බත්තරමුල්ල හන්දිය, සෙත්සිරිපාය, NAITA, රාජගිරිය, කාසල් රෝහල, බොරැල්ල 02 YMBA, කැම්බල් පාර්ක්, දෙමටගොඩ, පෑලියගොඩ (නව කැලණි පාලම), පෑලියගොඩ 02, හේකිත්ත හන්දිය, වත්තල, හැඳල, මාබෝල, මහබාගේ, කඳාන, වැලිගම්පිටිය, ජා-ඇල, CTB Junction සහ ඒකල.



සමස්ත මාර්ග 7 දක්වා ව්‍යාප්ත කිරීම

මෙට්‍රො බස් සේවාවේ නියමු ව්‍යාපෘතිය මාර්ග දෙකක ධාවන කටයුතු සමගින් ආරම්භ කෙරුණු අතර, ඊට අමතරව මේ වනවිට තවත් නව මෙට්‍රො මාර්ග පහක් හඳුන්වා දී තිබේ. ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට සමස්ත මාර්ග හතක මෙට්‍රො බස් සේවාව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem