ශ්රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදී මූල්යකරණය වැළැක්වීමේ නීතිමය පද්ධතිය සම්පූර්ණයෙන්ම ශක්තිමත් කිරීම අරමුණු කරගත් තීරණාත්මක සංශෝධිත පනත් කෙටුම්පත් 3ක් අද (9) පාර්ලිමේන්තුවේදී විවාදයට ගනිමින් තිබේ.
මෙම පනත් කෙටුම්පත් එකිනෙකින් ස්වාධීන වුවද, රටේ සමස්ත මූල්ය ආරක්ෂාව වෙනුවෙන් එකිනෙකට අනුපූරක වන පරිදි සකස් කර තිබීම සුවිශේෂීත්වයකි.
මෙම නව සංශෝධන ක්රියාත්මක වීමත් සමඟ මූල්ය ආයතන, මූල්ය බුද්ධි ඒකකය, නීතිය ක්රියාත්මක කරන ආයතන, අධිකරණය සහ ජාත්යන්තර හවුල්කරුවන් අතර පවතින සම්බන්ධීකරණය වඩාත් දියුණු වනු ඇත.
එමෙන්ම අපරාධ වැළැක්වීමේ සහ අපරාධ ආදායම් හඳුනාගැනීමේ සිට ඒවා රාජසන්තක කිරීම දක්වා වූ සමස්ත ක්රියාවලියම වඩාත් විනිවිදභාවයකින් යුතුව ශක්තිමත් වීමටද මෙය මහෝපකාරී වනු ඇතැයි වාර්තා වේ.
ප්රධාන සංශෝධන
මූල්ය ගනුදෙනු වාර්තා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත මගින් සැක සහිත මූල්ය ගනුදෙනු කලින්ම හඳුනාගෙන, ඒවා මූල්ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමේ පූර්ව වැළැක්වීමේ ක්රියාවලිය මෙමඟින් වඩාත් ශක්තිමත් කෙරේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත මගින් සැක සහිත ගනුදෙනු පිළිබඳ තොරතුරු පදනම් කරගනිමින් මුදල් විශුද්ධිකරණ අපරාධ විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ අපරාධකරුවන් සතු වත්කම් රජයට පවරා ගැනීම සඳහා වන නීතිමය බලතල පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.
ත්රස්තවාදී ක්රියාකාරකම් සඳහා මුදල්, දේපළ මෙන්ම විවිධ වත්කම් භාවිත කිරීම වැළැක්වීම සඳහා වන විශේෂ අපරාධ නීති රාමුව ශක්තිමත් කිරීම ත්රස්තවාදී මූල්යකරණය මර්දනය කිරීමේ සම්මුතිය සංශෝධන පනත් කෙටුම්පතේ අරමුණවේ.
Comments
Moderated before publishing. Your email stays private.