මීගමුව දිස්ත්රික් මහ රෝහල සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්ය ප්රතිපාදන යටතේ රුපියල් මිලියන 177 ක පිරිවැයක් දරමින් ස්ථාපිත කරන ලද අති නවීන CT ස්කෑන් යන්ත්රය නිල වශයෙන් රෝහල් ප්රතිකාර සේවාවට එක් කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (07) සිදු කෙරිණි.
මීගමුව සහ ඒ අවට ප්රදේශ රැසකින් දෛනිකව විශාල රෝගීන් සංඛ්යාවක් පැමිණෙන මීගමුව දිස්ත්රික් මහ රෝහලේ රෝග විනිශ්චය සේවා ශක්තිමත් කිරීම සඳහා මෙම නවීන CT ස්කෑන් යන්ත්රය මගින් සුවිශේෂී දායකත්වයක් ලැබෙන බව අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙතෙක් මෙම පරීක්ෂණ සේවා සඳහා රෝගීන් රාගම ශික්ෂණ රෝහල සහ වැලිසර රෝහල වෙත යොමු කිරීමට සිදුව තිබූ අතර නව යන්ත්රය ස්ථාපිත කිරීමත් සමඟ එම පහසුකම මීගමුව රෝහල තුළදීම ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත්, එමගින් රෝගීන්ට ගතවන කාලය මෙන්ම ප්රවාහන වියදම්ද සැලකිය යුතු ලෙස අවම වන බවත් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අක්ෂි සායන ගොඩනැගිල්ල සහ ව්යායාම මධ්යස්ථානය
මීට අමතරව රුපියල් ලක්ෂ 290 ක පිරිවැයක් දරමින් පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කර නවීන පහසුකම් සහිතව නව්යකරණය කරන ලද මීගමුව දිස්ත්රික් මහ රෝහලේ අක්ෂි සායන ගොඩනැගිල්ලද අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් මෙහිදී ප්රතිකාර සේවා සඳහා විවෘත කෙරිණි.
දීර්ඝ කාලයක් අබලන් තත්ත්වයේ පැවති මෙම ගොඩනැගිල්ල ගරු ඩැරැල් කූඤ්ඤ පියතුමාගේ මූලික මැදිහත්වීම මත දානපතීන්ගේ හා පරිත්යාගශීලීන්ගේ දායකත්වයෙන් ප්රතිසංස්කරණය කර ඇත.
එමෙන්ම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ බෝ නොවන රෝග ඒකකය මගින් රුපියල් මිලියන 10 ක මූල්ය ප්රතිපාදන වැය කර රෝහල් පරිශ්රයේ ස්ථාපිත කරන ලද ව්යායාම මධ්යස්ථානයද අමාත්යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.
Comments
Moderated before publishing. Your email stays private.