රුපියල් මිලියන 51කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ 24 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු අද (26) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වියට්නාමයේ හෝචිමිං නගරයේ සිට පැමිණි වියට්නාම් එයාර්ලයින්ස් සේවයට අයත් VN-671 දරන ගුවන් යානයෙන් අලුයම 1.15ට පමණ කටුනායකට ළඟා වූ සැකකරු, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් සඳහා වෙන් කර ඇති 'හරිත මාවත' ඔස්සේ ගුවන්තොටුපළෙන් පිටව යාමට උත්සාහ කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඇඳුම් අතර සඟවා තිබූ පාර්සල් 7ක්
ඉන්දියාවේ ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පියෙකු ලෙස සේවය කරන බව කියන මෙම සැකකරුගේ ගමන් මලු ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමේදී, ඇඳුම් අතර සූක්ෂ්ම ලෙස අසුරා තිබූ පාර්සල් 7ක් තුළින් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 100ක ප්‍රමාණයක් සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකි විය.
අත්අඩංගුවට ගත් සැකකරු මෙන්ම සොයාගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.