මැලේරියාව සහ මව්වරුන් හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10 ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම ඇගයීමට ලක් කරමින් ලෝක සෞඛ්ය සංවිධානය විසින් ශ්රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා තිබේ.
ටිමෝර්-ලෙස්තේ රාජ්යයේ ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වැනි සැසියේදී මෙම ඇගයීම් සහතිකය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිරිනමනු ලැබීය.
ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්ය ටෙඩ්රොස් අධානොම් ගෙබ්රියේසස් මහතා විසින් මෙම සහතිකය පිරිනමා ඇති අතර එය ලෝක සෞඛ්ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ භාරකාර නිලධාරී ආචාර්ය නිලේෂ් බුද්ධා මහතාගේ අත්සනින් යුක්ත වේ.
ඇගයීමට ලක්වූ සෞඛ්ය ජයග්රහණ
ශ්රී ලංකාව ඇගයීමට ලක්වූ ප්රධාන සෞඛ්ය ජයග්රහණ දෙක පහත පරිදි වේ.
2016 වසරේදී ලෝක සෞඛ්ය සංවිධානය විසින් මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කිරීමෙන් අනතුරුව, වසර 10 ක් පුරා එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම. (මාලදිවයිනට පසුව දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ මැලේරියාව තුරන් කළ දෙවන රට ශ්රී ලංකාවයි)
මව්වරුන් හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10 ක් පුරා රැකගැනීම.
රට තුළට මැලේරියාව යළි ඇතුළුවීම සහ ව්යාප්ත වීම වැළැක්වීමේ වැඩසටහන් මෙන්ම ගර්භණී මව්වරුන් සඳහා ලබාදෙන පිටගැස්ම ප්රතිශක්තිකරණ එන්නත් වැඩසටහනද රට පුරා අඛණ්ඩව ක්රියාත්මක කිරීම මෙම සාර්ථකත්වයට හේතු වී ඇත.
ජයග්රහණයට බලපෑ ප්රධාන සාධක
ශ්රී ලංකාවේ ශක්තිමත් හා ප්රත්යස්ථ ප්රාථමික සෞඛ්ය සේවා පද්ධතිය, අඛණ්ඩ ජාතික කැපවීම, ඉහළ ප්රතිශක්තිකරණ ආවරණය සහ කාර්යක්ෂම රෝග විමර්ශන හා පාලන පද්ධතිය මෙම සෞඛ්ය ජයග්රහණ අත්කර ගැනීමට මෙන්ම ඒවා දිගුකාලීනව පවත්වාගෙන යාමට ප්රධාන වශයෙන් දායක වී ඇති බව ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වා දෙයි.
මෙම ජයග්රහණ ශ්රී ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රයේ වැදගත් සන්ධිස්ථාන පමණක් නොව, ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරමින් වඩාත් සෞඛ්ය සම්පන්න අනාගතයක් ගොඩනැගීම සඳහා රට අත්කරගෙන ඇති සුවිශේෂී ප්රගතියක් බවද ලෝක සෞඛ්ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Moderated before publishing. Your email stays private.