Swipe left or right to navigate stories
මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර නොසන්සුන්තාවලදී තිදෙනෙකු ජීවිතක්ෂයට

මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර නොසන්සුන්තාවලදී තිදෙනෙකු ජීවිතක්ෂයට

දිවයිනේ බන්ධනාගාර කිහිපයක ඊයේ (6) රාත්‍රියේ සහ අද (7) උදෑසන කාලයේදී රැඳවියන් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයන් හටගෙන තිබේ.

බොරැල්ල මැගසින් බන්ධනාගාරය, කුරුවිට බන්ධනාගාරය සහ මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය යන ස්ථානවල මෙම නොසන්සුන්තාවයන් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ වන විට මැගසින් සහ කුරුවිට බන්ධනාගාරයන්හි නොසන්සුන්තාවන් පාලනය කර ඇති අතර පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටියි.



මැගසින් බන්ධනාගාරය

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (6) රාත්‍රියේ රැඳවියන් 40 දෙනෙකුගෙන් යුත් පිරිසක් අතර නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය වහාම කැඳවා ඇති අතර අද (7) උදෑසන වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.

මෙම ගැටුමින් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ අතර ඉන් එක් රැඳවියෙකු රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත. දැනට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට ආරක්ෂාව තහවුරු කර තිබේ.



කුරුවිට බන්ධනාගාරය

කුරුවිට බන්ධනාගාරය තුළ ඊයේ රාත්‍රියේ හටගත් නොසන්සුන්තාවය පාලනය කිරීමට කටයුතු කර තිබුණද, අද (7) උදෑසන යළිත් රැඳවියන් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත. එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි සිදුකර ඇති බව වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම වෙඩි තැබීමට සිදුවූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ පොලීසිය තහවුරු කළේය.

එම සිදුවීමෙන් තුවාල ලැබූ රැඳවියන් සිව්දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව කුරුවිට පොලීසිය ප්‍රකාශ කළේය.



මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය

මේ අතර මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය තුළද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර එහි තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහිදී රැඳවියන් විසින් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බවටද තොරතුරු වාර්තා වේ.

රැඳවියන් පිරිසක් අද උදෑසන වහලය මත නැග විරෝධතාවක නිරතවීමත් සමඟ පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයෙහි මෙම නොසන්සුන්තාවක් හටගෙන තිබුණි.

ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා අවට ආරක්ෂාව තර කරමින් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාවද ‍යෙදවීමට කටයුතු කළ බවයි වාර්තා විය.



බන්ධනාගාර නොසන්සුන්තාව

මීගමුව සහ මහර බන්ධනාගාරවල මෑතකදී ඇතිවූ කැරලිවලින් අනතුරුව මෙම නොසන්සුන්කාරී සිදුවීම් වාර්තා වේ.

පසුගිය මාසයේදී රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 32 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

අගෝස්තු 1 වැනිදා මහර බන්ධනාගාරයේ රැඳවියන් 1,000 කට වැඩි පිරිසක් නොසන්සුන්කාරී සිදුවීමකට සම්බන්ධ වූ අතර එහිදී බන්ධනාගාරයේ කොටස් කිහිපයක් විනාශ විය.

අධිකරණ අමාත්‍ය නානායක්කාර මහතා ප්‍රකාශ කළේ මෙම සිදුවීම බන්ධනාගාරයේ මෙහෙයුම් අක්‍රිය කිරීමට සංවිධානාත්මකව කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක සලකුණක් ලෙස පෙනෙන්නට ඇති බවය.



නොසන්සුන්තාවයට හේතුව

බුද්ධි තොරතුරු සහ විමර්ශනවල සොයාගැනීම්වලට අනුව මෙම නොසන්සුන්තාව කුමන්ත්‍රණයක සහ කඩාකප්පල්කාරී ක්‍රියාවක කොටසක් ලෙස සැලසුම් සහගතව සිදුකර ඇති බවට පෙනී යන බව අමාත්‍ය විජේපාල මහතා පැවසීය.

මෙම සැකකෙරෙන සැලසුම් සහගත මෙහෙයවීම, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ක්‍රියාකාරකම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම්වලට සම්බන්ධ පිරිස් විසින් සිදුකරන්නට ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු ලකුණක් නොමැති බව ද අමාත්‍ය විජේපාල මහතා වැඩිදුරටත් පැවසීය.




Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem