2015 වසරේ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688 ක පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් 02 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (09) නියම කළේය.
අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
අධිකරණයේ පෙනී සිටි සහ මගහැර සිටින විත්තිකරුවන්
ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්රෙශරීස් සමාගමේ අධ්යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන, මුතුරජා සුරේන්ද්රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ සහ පී. ගුණවර්ධන යන අය අද දින අධිකරණයේ පෙනී සිටියහ.
මෙහි පළමු විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් අධිකරණය මගහැර සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මීට පෙර වරෙන්තුද නිකුත් කර තිබේ.
ඊට අමතරව ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද තීරණය කර ඇත.
නඩුව කල් තැබීමට හේතුව
විත්තිකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ අදාළ සමාගමේ කටයුතු ශ්රී ලංකා මහ බැංකුව විසින් 2018 වසරේදී තහනම් කරන ලද බවත්, ඒ අනුව එම සමාගම වර්තමානයේ ව්යාපාරික කටයුතු නොකරන බවත්ය.
නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරයා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින්, අදාළ සමාගම සඳහා නියෝජිතයකු පෙනී සිටීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තෙක් අද දිනට නියම වී තිබූ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය කල් තබන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය නොවැම්බර් මස 02 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
Comments
Moderated before publishing. Your email stays private.