Swipe left or right to navigate stories
මහාමාර්ග හා අධිවේගී මාර්ග සංවර්ධනයට 2027 අයවැයෙන් දැවැන්ත ප්‍රතිපාදන

මහාමාර්ග හා අධිවේගී මාර්ග සංවර්ධනයට 2027 අයවැයෙන් දැවැන්ත ප්‍රතිපාදන

මහාමාර්ග, අධිවේගී මාර්ග සහ දුම්රිය ප්‍රවාහන පද්ධතිය නවීකරණය වෙනුවෙන් සිදුකරන රුපියල් බිලියන 487ක පුළුල් ජාතික ආයෝජනයේ ප්‍රධාන කොටසක් ලෙස, 2027 වසරේ අධිවේගී මාර්ග ඉදිකිරීම් සඳහා පමණක් රුපියල් බිලියන 117.3ක (මිලියන 117,300ක) දැවැන්ත මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

අද (12) පාර්ලිමේන්තුවේදී 2027 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, අතරමඟ ඇනහිට තිබූ සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධාන අධිවේගී මාර්ග ව්‍යාපෘති නිශ්චිත කාලරාමු තුළ අවසන් කිරීමට මෙමඟින් ප්‍රමුඛත්වය ලබාදී ඇති බවය.



මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස් නිම කිරීමට රුපියල් බිලියන 81ක්

අධිවේගී මාර්ග සඳහා වෙන්කළ මුදලින් ප්‍රධානතම කොටස වන රුපියල් බිලියන 81ක් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීම සඳහා යොදවා ඇත.

එම ප්‍රතිපාදන සහ ව්‍යාපෘති අවසන් කිරීමට අපේක්ෂිත කාලසීමාවන් මෙසේය.

  • කඩවත - මීරිගම කොටස: රුපියල් මිලියන 53,450ක් වෙන් කර ඇති අතර 2028 සැප්තැම්බර් වන විට වැඩ නිම කිරීමට නියමිතය.
  • රඹුක්කන - ගලගෙදර කොටස: රුපියල් මිලියන 23,050ක් වෙන් කර ඇති අතර 2029 ජූලි වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය.
  • පොතුහැර - රඹුක්කන කොටස: රුපියල් මිලියන 4,500ක් වෙන් කර ඇති අතර එළඹෙන 2027 මැයි මාසය වන විට ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත.



රුවන්පුර අධිවේගී මාර්ගය සහ කුරුණෑගල - ගලේවෙල කොටස ඇරඹීමටත් ප්‍රතිපාදන

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස්වලට සමගාමීව නව අධිවේගී මාර්ග ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන්ද 2027 අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබේ.

ඒ අනුව කහතුඩුව සිට ඉංගිරිය දක්වා දිවෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 27,000ක්ද, මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන කොටසේ පළමු අදියර ලෙස කුරුණෑගල සිට ගලේවෙල දක්වා ඉදිකිරීම් ආරම්භ කිරීමට රුපියල් මිලියන 30,000ක්ද වෙන් කර ඇත.

තවද අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ වන ප්‍රධාන ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 8,500ක් වෙන් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.



ගුවන් පාලම්, මාර්ග තදබදය අවම කිරීම සහ කටුනායක - හලාවත ශක්‍යතා අධ්‍යයන

අධිවේගී මාර්ගවලට අමතරව රට පුරා මාර්ග තදබදය අවම කිරීම සහ පාලම් ඉදිකිරීම වෙනුවෙන්ද සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් මෙවර අයවැයෙන් වෙන් කර තිබේ.

ඒ යටතේ මාර්ග පුළුල් කිරීම සහ වාහන තදබදය අවම කිරීම සඳහා රුපියල් මිලියන 22,000ක් වෙන් කර ඇති අතර අලව්ව, කුරුණෑගල සහ මහනුවර යන නගරවල ඉදිකෙරෙන නව ගුවන් පාලම් තුනක් සඳහා රුපියල් මිලියන 1,900ක් වෙන් කර ඇත.

එමෙන්ම ප්‍රධාන කලාපීය පාලම් ව්‍යාපෘති පහක් වෙනුවෙන් රුපියල් මිලියන 2,040ක් ද, යෝජිත කටුනායක - හලාවත අධිවේගී මාර්ගය ඇතුළු නව ව්‍යාපෘතිවල ශක්‍යතා අධ්‍යයනයන් සඳහා රුපියල් මිලියන 680ක්ද මෙම අයවැය මඟින් වෙන් කිරීමට පියවර ගෙන තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem