සෞදි අරාබියේදී මරණ දඬුවමට නියමව සිට ඉන් ගලවා ගත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනෝජන් සිවරාසාට එරෙහිව පැවති සියලු නීතිමය ක්‍රියාමාර්ග නිල වශයෙන් අවසන් කර ඔහු සියලු දඬුවම්වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට සෞදි අරාබි රජයේ අභිචෝදක අධිකාරිය පියවර ගෙන තිබේ.
නිදහස ලැබූ සිවරාසා මහතා ඉතා කඩිනමින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තහවුරු කළේය.
මරණ දඬුවම අවලංගු වීමේ සිට පූර්ණ නිදහස දක්වා නීතිමය ගමන්මඟ
අපහාසාත්මක යැයි සැලකෙන ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත නැගෙනහිර කලාපයේ සෞදි අභියාචනා අධිකරණයක් විසින් 2026 සැප්තැම්බර් 17 වැනිදා අනෝජන් සිවරාසා මහතාට මරණ දඬුවම නියම කර තිබුණි.
එහෙත් ශ්‍රී ලංකා රජය සිදුකළ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් 13 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය එම මරණ දඬුවම අවලංගු කර වැඩිදුර විභාගය සඳහා නඩුව අල්-අහ්සා අපරාධ අධිකරණය වෙත යොමු කළේය.
අනතුරුව ඔක්තෝබර් 27 වැනිදා පැවති නඩු විභාගයෙන් පසු විමර්ශන අවසන් කළ සෞදි රජයේ අභිචෝදක කාර්යාලය, පසුගිය නොවැම්බර් 09 වැනිදා අදාළ නඩුව නිල වශයෙන් අවසන් කිරීමට තීරණය කිරීමත් සමඟ ඔහුට පනවා තිබූ සෙසු සියලු දඬුවම්ද අහෝසි වී පූර්ණ නිදහස හිමිවිය.
පවුලේ ඥාතීන්ගෙන් රජයට කෘතඥතාව
සිවරාසා මහතාගේ නිදහස සහ ඔහු මෙරටට ගෙන්වා ගැනීමේ නවතම ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (11) අමාත්‍යාංශයේදී ඔහුගේ පවුලේ ඥාතීන් හමුවිය.
එහිදී තම පුත්‍රයාගේ ජීවිතය බේරාගෙන නිදහස් කර ගැනීමට කැපවූ ජනාධිපතිවරයා ඇතුළු සියලු රාජ්‍ය ආයතන හා නිලධාරීන් වෙත ඥාතීන් සිය හෘදයාංගම ස්තුතිය පුද කළහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම යටතේ සෞදි අරාබියේ ස්වෛරීභාවයට සහ අධිකරණ පද්ධතියට ගරු කරමින් ගෙන ගිය සාර්ථක රාජ්‍යතාන්ත්‍රික ප්රයත්නයට මෙහි ගෞරවය හිමිවන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම මේ සඳහා සහය දැක්වූ සෞදි රජයට, එරට අධිකරණයට, රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙන්ම සෞදි අරාබියට ගොස් නීතිමය සහාය ලබා දුන් ශ්‍රී ලාංකික නීති විශේෂඥ කණ්ඩායමට ද රජය සිය බලවත් ප්‍රසාදය පළ කර සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.