මන්නාරම් ද්රෝණියේ පවතින ස්වාභාවික වායු (Natural Gas) සම්පත ගොඩගැනීම සහ ප්රයෝජනයට ගැනීම සඳහා සුදුසු ජාත්යන්තර ආයෝජකයන් තෝරාගැනීමේ යෝජනා කැඳවීමේ ක්රියාවලිය මෙම මාසයේදී ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රකාශ කරයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ මන්නාරම් ද්රෝණියේ ස්වාභාවික වායු පවතින බව ශ්රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය මගින් විද්යාත්මකව තහවුරු කර ඇති බවය.
අදාළ ප්රසම්පාදන කමිටුවේ අනුමැතිය සහිතව මෙම යෝජනා කැඳවීම සිදු කෙරෙන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ආයෝජකයන්ට මාස පහක පමණ කාලයක් ලබා දීමට නියමිතය.
විද්යාත්මක තහවුරු කිරීම්
මන්නාරම් ද්රෝණියේ M2 ගවේෂණ කලාපය තුළ ස්වාභාවික වායු සහ හයිඩ්රොකාබන් පද්ධතියක් පවතින බවට අතීතයේ සිදුකළ පරික්ෂණවලින් තහවුරු වී තිබේ. 2011 වසරේදී 'Cairn Lanka' සමාගම මගින් සිදුකළ විදුම් ගවේෂණවලදී මෙම ප්රබල ස්වාභාවික වායු නිධි හමු විය.
භූකම්පන අධ්යයනයන්ට හා දත්තයන්ට අනුව මන්නාරම් ද්රෝණියේ ඝන අඩි ට්රිලියන 2 කට ආසන්න ස්වාභාවික වායු ප්රමාණයක් පවතින බවට ඇස්තමේන්තු කර ඇති අතර මෙය මෙරට වසර ගණනාවක බලශක්ති අවශ්යතාව සම්පූර්ණ කිරීමට ප්රමාණවත් සම්පතකි.
ජාත්යන්තර ලංසු කැඳවීමක්
2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ ප්රතිපාදනවලට අනුකූලව විනිවිදභාවයෙන් යුත් ජාත්යන්තර තරගකාරී ලංසු කැඳවීමක් ලෙස මෙම ක්රියාවලිය සිදු කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්යාපෘතිය සඳහා විදේශීය සහ දේශීය ආයෝජකයන්ට එක හා සමානව ලංසු තැබීමේ අවස්ථාව හිමිවේ.
මීට පෙරද ඉන්දියාව සහ කටාර් වැනි රටවල ප්රමුඛ පෙළේ බලශක්ති සමාගම් මන්නාරම් ද්රෝණියේ ගවේෂණ කටයුතු සඳහා දැඩි උනන්දුවක් දක්වා තිබීම විශේෂත්වයකි.
ආර්ථිකයට හිමිවන වාසි
මෙම ස්වාභාවික වායු නිධි සාර්ථකව ගොඩගැනීම තුළින් මෙරට විදුලි උත්පාදනය සහ කර්මාන්ත සඳහා දැනට ආනයනය කරනු ලබන ඉන්ධන හා ගල් අඟුරු වෙනුවට දේශීය ස්වාභාවික වායු භාවිතයට ගැනීමේ හැකියාව හිමිවේ. එමගින් වසරකට ඉන්ධන ආනයනය වෙනුවෙන් වැයවන අධික විදේශ විනිමය ප්රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත.
එමෙන්ම ෆොසිල ඉන්ධන භාවිතයට වඩා ස්වාභාවික වායු භාවිතය පරිසර හිතකාමී වන බැවින්, කාබන් විමෝචනය අවම කරමින් පිරිසිදු බලශක්තියක් ලබා ගැනීමටද මින් මගපෑදේ. දීර්ඝකාලීනව දේශීය අවශ්යතා සම්පූර්ණ කරගැනීමෙන් අනතුරුව, අතිරික්ත ස්වාභාවික වායු විදේශයන් වෙත අපනයනය කර විදේශ විනිමය ඉපැයීමේ දැවැන්ත හැකියාවක්ද ශ්රී ලංකාවට උදාවනු ඇත.
Comments
Moderated before publishing. Your email stays private.