විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම තවදුරටත් තාක්ෂණිකව ශක්තිමත් කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සැකකටයුතු ක්‍රියා පිළිබඳ ආරක්ෂක අංශ වෙත මාර්ගගතව තොරතුරු ලබාදිය හැකි 1818.gov.lk නිල වෙබ් අඩවිය මහජනතාව සඳහා විවෘත කර තිබේ.
මීට පෙර හඳුන්වා දුන් 1818 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට අමතරව මෙම නව වෙබ් ද්වාරය හඳුන්වා දී ඇති අතර ඒ හරහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්, ජාලගත බෙදාහැරීම් හෝ ඒ ආශ්රිත නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව ක්ෂණිකව වාර්තා කිරීමට මහජනතාවට අවස්ථාව හිමිවේ.
භාෂා ත්‍රිත්වයෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක සේවාවක්
ජනාධිපති කාර්යාලයේ මෙන්ම “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන මෙම සේවාව, “රටම එකට” ප්‍රධාන කාර්යාලයේ සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් මැදිරියක් මඟින් දවසේ පැය 24 පුරාම සක්‍රීයව ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී ඕනෑම පුරවැසියෙකුට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඉතා පහසුවෙන් වෙබ් අඩවියට පිවිස තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාව සලසා දී තිබේ.
එමෙන්ම පද්ධතිය වෙත ලැබෙන තොරතුරු තහවුරු කරගත් සැණින් අදාළ ප්‍රදේශ භාර පොලිස්, ත්‍රිවිධ හමුදා සහ බුද්ධි අංශ ක්ෂණික වැටලීම් සහ නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමටද කටයුතු යොදා ඇත.
තොරතුරු ලබාදෙන්නන්ගේ අනන්‍යතාවයට පූර්ණ රැකවරණය
මෙම ක්‍රමවේදය ඔස්සේ තොරතුරු ලබාදෙන කිසිදු පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හෝ පෞද්ගලික තොරතුරු කිසිදු හේතුවක් මත අනාවරණය නොකරන බවත්, උපරිම රහස්‍යභාවය සුරකින බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සහතික කරයි.
එබැවින් තම ගම්මාන සහ නගර විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා බියෙන් තොරව නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදී මෙම ජාතික මෙහෙයුමට සක්‍රීයව දායක වන ලෙස රජය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.