කොළඹ 15, මට්ටක්කුලිය - අලුත්මාවත පාර, කන්දඋඩ ප්රදේශයේ මංසන්ධියේදී මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක ගැටීමෙන් ඊයේ (16) රාත්රියේ සිදුවූ මාරක රිය අනතුරින් මියගිය සංඛ්යාව 3 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථයකට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික තොරතුරුවලින් අනාවරණය වී ඇත.
අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
වාහන 7කට දැඩි හානි
පාලනයෙන් ගිලිහුණු මෝටර් රථය, කොටහේන දෙසට ධාවනය වෙමින් තිබියදී මාර්ගයේ තිබූ ත්රීරෝද රථ 3 ක් සහ යතුරුපැදි 4 ක් එකපෙළට අනතුරට ලක්කරමින් ඒවාට දැඩි හානි සිදුකර තිබේ.
සිද්ධියත් සමඟ වහාම ක්රියාත්මක වූ ප්රදේශවාසීන්, තුවාල ලැබූවන් සහ අසාධ්ය තත්ත්වයේ පසුවූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
මියගිය අය සහ තුවාලකරුවන්
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 64 ක පුද්ගලයන් දෙදෙනෙකු සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔවුන් ග්රෑන්ඩ්පාස්, කොළඹ 15 සහ වත්තල යන ප්රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කරයි.
මේ වන විට තුවාල ලැබූ පුද්ගලයින් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටිති.
Comments
Moderated before publishing. Your email stays private.