මාතර, බ්රවුන්ස්හිල් ප්රදේශයෙන් ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව පවරා ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර ප්රධාන මහේස්ත්රාත් චතුරංග එරංග දිසානායක මහතා අද (21) වරෙන්තු නිකුත් කළේය.
ඊට අමතරව බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පැනවීමට අධිකරණය නියෝග කළ අතර ඒ අනුව ඔහුට මෙරටට පැමිණීමේ බාධාවක් නොමැති වුවද නැවත විදේශගත වීමට අවස්ථාව හිමි නොවනු ඇත.
මෙම නඩුව සඳහා හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ, අයෝමා ගලප්පත්ති, ඇයගේ ස්වාමිපුරුෂයා වන තිස්ස ගලප්පත්ති සහ මුදිත ජයකොඩි යන අයට එරෙහිව චෝදනා ගොනුකර ඇත.
දිගින් දිගටම අධිකරණය මගහැරීම
මාතර එළියකන්ද පාර, බ්රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් අයථා ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගත් බවට චෝදනා කරමින් පොලිස් මූල්ය අපරාධ කොට්ඨාසය විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
පසුගිය මැයි 22 වැනිදා ද අදාළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාට වරෙන්තු නිකුත් කර තිබූ අතර මෙලෙස දිගින් දිගටම අධිකරණය මඟහැර සිටීම සලකා බලමින් මහේස්ත්රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
ඇපකරුවන්ටත් දැඩි නියෝග
අදාළ නඩුවේ තෙවැනි විත්තිකරුවන බැසිල් රාජපක්ෂ මහතා සහ සිවුවැනි විත්තිකාරිය වන ඔහුගේ බිරිඳගේ සහෝදරිය අයෝමා ගලප්පත්ති යන අය අද දින විවෘත අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන්ගේ ඇපකරුවන් පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇපකරුවන්ගේ වගකීමක් බැවින් ඔවුන් ඉදිරිපත් නොකිරීම මත ඇප මුදල් රාජසන්තක කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහේස්ත්රාත්වරයා ඇපකරුවන්ට නියෝග කළේය.
ඒ අනුව ඇපකරුවන් ඒ සඳහා ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට දිනයක් ඉල්ලා සිටි අතර එම ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙමින් නඩුව නැවත ලබන අගෝස්තු 18 වැනිදා කැඳවීමට නියෝග කෙරිණි.
Comments
Moderated before publishing. Your email stays private.