මහනුවර, බහිරවකන්ද ප්රදේශයේ විහාරස්ථානයකට අනුබද්ධව සිටි භික්ෂූන් වහන්සේ නමක 15 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් අද (1) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය අනාවරණය කර ඇත්තේ අත්අඩංගුවට ගත් 25 හැවිරිදි මෙම භික්ෂූන් වහන්සේ වින්දිත දැරියගේ පියාගේ සහෝදරයා වන බවය. මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව උන්වහන්සේ මැයි 20 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
එසේම 14 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් එරගම ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි මවුලවිවරයකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම මවුලවිවරයා ජූනි මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පසුබිම
ආගමික පූජකවරුන් සම්බන්ධ මෑතකාලීන ආන්දෝලනාත්මක සිදුවීම් පෙළකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇත.
මෙම සිදුවීම් අතරින් වඩාත්ම කතාබහට ලක්වූ සිදුවීම ලෙස බාලවයස්කාර දරුවකු ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා මත ජ්යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ නමක වන පල්ලේගම හේමරතන හිමියන් මැයි 9 වැනිදා අත්අඩංගුවට පත් විය.
පසුව උන්වහන්සේ ඇප මත මුදාහැරුණු අතර දැනට පවතින නඩු තීන්දුව ලැබෙන තෙක් මල්වතු මහා විහාරයේ මහා සංඝ සභාව විසින් උන්වහන්සේ දැරූ ජ්යෙෂ්ඨ තනතුරු දෙකකින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගැනුණි.
තවත් සිදුවීමකදී තඹුත්තේගම විහාරස්ථානයක විහාරාධිපතිව වැඩසිටි 65 හැවිරිදි මුල්ලේරියාවේ විමලතිස්ස හිමියන්, 14 හැවිරිදි පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වැරදිකරු කෙරුණි.
එහිදී උන්වහන්සේට වසර 30 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ අතර දඬුවම් එකවර ගෙවී යන බැවින් උන්වහන්සේට වසර 10 ක සිරදඬුවමක් විඳීමට සිදුවේ.
මීට අමතරව පසුගිය අප්රේල් මාසයේදී බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 22 නමක අත්අඩංගුවට ගැනුණි. උන්වහන්සේලාගේ ගමන් මලුවල රහසිගත ලෙස සඟවා තිබූ කිලෝග්රෑම් 110 කට අධික ගංජා තොගයක් රේගු නිලධාරීන් විසින් සොයා ගැනීමත් සමගය.
ජනාධිපතිවරයාගේ ප්රතිඥාව
භික්ෂූන් වහන්සේලාගේ විනය පාලනය කිරීම සඳහා 'සංඝ සභාවක්' පිහිටුවීමට හැකිවන පරිදි බෞද්ධ විහාරදේවාලගම් පනතට අවශ්ය සංශෝධන ගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය.
බෞද්ධ විහාරදේවාලගම් පනතේ 41 සහ 42 වගන්ති සඳහා වන සංශෝධන මේ වන විටත් කෙටුම්පත් කර ඇති බවත්, නීතිපතිවරයා සියලුම නිකායන්හි මහානායක හිමිවරුන්ගේ නියෝජිතයන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඒ සඳහා එකඟතාවකට පැමිණ ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
බුදුදහමේ ඉගැන්වීම් සුරක්ෂිත කරමින් අනාගත පරපුරට දායාද කිරීම සඳහා මහා සංඝරත්නය ඉටුකළ මෙහෙවර ඇගයීමට ලක්කළ ජනාධිපතිවරයා, මහා සංඝරත්නයේ විනය ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා අවශ්ය නීති සම්පාදනය කිරීමටද මෙහිදී ප්රතිඥා දුන්නේය.
Comments
Moderated before publishing. Your email stays private.