බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූහ.
ගල් අඟුරු ආනයනයට අදාළ ක්රියාවලිය පරීක්ෂා කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ සැලසීම උදෙසා ඔවුහු මෙලෙස සිය ඉල්ලා අස්වීම් භාර දී ඇත.
තමන් තවදුරටත් අමාත්යවරයා ලෙස කටයුතු කිරීම මෙම පරීක්ෂණයට බාධාවක් වන්නේ නම් ඊට ඉඩ සැලසීම සඳහා ඉල්ලා අස්වන බව ජයකොඩි සිය ලිපියේ සඳහන් කර ඇති අතර, මහාචාර්ය හේමපාල ද සිය අස්වීමට එවැනිම හේතු දක්වා ඇත.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව
විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ තමාට පැවරී ඇති බලතල ක්රියාත්මක කරමින්, සීමිත ලංකා ගල් අඟුරු සමාගම හෝ එහි අනුප්රාප්තිකයන් විසින් ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්රමිකතා හෝ නීති විරෝධී ක්රියා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කොමිසමක් පත් කර ඇත.
මෙම විමර්ශනය ශ්රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්රිත විදුලි උත්පාදනය ආරම්භ කළ දිනයේ සිට 2026 අප්රේල් 16 දක්වා කාලය ආවරණය කරනු ඇත.
කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග පත් කර තිබේ. අභියාචනාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න එහි සාමාජිකයින් ලෙස පත් කර ඇත. එහි ලේකම්වරයා ලෙස හිටපු අමාත්යාංශ ලේකම් පී.වී. බන්දුලසේන පත් කර තිබේ.
මෙවැනි තත්ත්වයන් ඉදිරියට ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්රියාමාර්ග පිළිබඳව වාර්තා කිරීමද කොමිසමට පවරා ඇත.
කුමාර ජයකොඩිට එරෙහි දූෂණ චෝදනා
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එල්ල කරන ලද දූෂණ චෝදනාවලට අදාළව කොළඹ මහාධිකරණය විසින් පසුගිය මාසයේ (මාර්තු 27) හිටපු බලශක්ති අමාත්යවරයාට එරෙහිව චෝදනා ගොනු කරන ලදී.
ලංකා පොහොර සමාගමේ ප්රසම්පාදන හා ආනයන අංශයේ කළමනාකරු ලෙස කටයුතු කළ සමයේදී අමාත්යවරයා විසින් රජයට රුපියල් 8,859,708 ක පාඩුවක් සිදු කර ඇති බව අල්ලස් කොමිසම චෝදනා කළේය.
2016 වසරේ ලංකා පොහොර සමාගමට අයත් හුණුපිටිය ගබඩා සංකීර්ණ භූමියේ කාපට් ඇතිරීම සඳහා වූ ප්රසම්පාදන ක්රියාවලියකදී පෞද්ගලික සමාගමකට ප්රතිලාභ සැලසෙන අයුරින් කටයුතු කිරීමෙන් ජයකොඩි මෙම පාඩුව සිදු කර ඇති බවට චෝදනා එල්ල විය.
කෙසේ වෙතත්, කුමාර ජයකොඩි මීට පෙර මෙම චෝදනා ප්රතික්ෂේප කර තිබුණි. ඔහු පවසන පරිදි, මෙම චෝදනා පදනම් වී ඇත්තේ ප්රසම්පාදන ක්රියාවලියේ සිදුවූ දෝෂයක් මතය.
තමාට නිකුත් කළ සිතාසියකට අනුව අධිකරණය හමුවේ පෙනී සිටි ජයකොඩි, චෝදනා පත්ර භාරදීමෙන් පසු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරිණි.
මෙම නඩුව මැයි 6 වැනිදා පූර්ව නඩු විභාග සම්මන්ත්රණයක් සඳහා කැඳවීමට අධිකරණය නියෝග කළේය.
කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව
ඉන් අනතුරුව, විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් විසින් ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අතර, එය 2026 මාර්තු 19 වැනිදා කථානායකවරයාට භාර දෙන ලදී.
සමගි ජන බලවේගයේ මන්ත්රී අජිත් පී. පෙරේරාට අනුව, මෙම විශ්වාසභංග යෝජනාව ගොනු කර ඇත්තේ ප්රධාන චෝදනා දෙකක් පදනම් කරගෙනයග. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ජයකොඩි මහතාට එරෙහිව නඩුවක් පවරා තිබීම සහ ප්රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කළ බව ඒම චෝදනාය.
ඉහත චෝදනා හේතුවෙන් ජයකොඩි මහතා අදාළ ධුරය දැරීමට නුසුදුසු බවට විපක්ෂය අදහස් කළද, එම යෝජනාව වැඩි ඡන්ද 104 කින් පරාජයට පත් විය (විරුද්ධව 153, පක්ෂව 49).
Comments
Moderated before publishing. Your email stays private.