එල්ල වන බව කියන බාහිර බලපෑම් සහ අනවශ්ය අතපෙවීම් හමුවේ ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි බව පවසමින් ජාතික මලල ක්රීඩා තේරීම් කමිටුවේ ඉතිරිව සිටි සාමාජිකයන් තිදෙනාම ඊයේ (27) සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.
හිටපු සහකාර ක්රීඩා අධ්යක්ෂ ඩී.ඒ. දයාරත්න, හිටපු මලල ක්රීඩකයන් වන එම්.පී.කේ. ජයසේකර සහ රවී විද්යාලංකාර යන මහත්වරුන් මෙලෙස ඉල්ලා අස්වී ඇති අතර ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ ක්රීඩා අමාත්යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා වෙත භාරදී ඇත.
තමන්ගේ අනුදැනුමකින් තොරව තේරීම් කටයුතු සඳහා බාහිර පාර්ශවයන්ගෙන් එල්ල වන මැදිහත්වීම් උත්සන්න වීම මෙම තීරණයට හේතු වූ බව මාධ්ය වෙත අදහස් දක්වමින් ඔවුහු සඳහන් කළහ.
ඉල්ලා අස්වීමට හේතු
ඊයේ ඉල්ලා අස්වූ කමිටු සාමාජිකයින්ගේ නිල කාලය 2027 මැයි මාසය දක්වා පවතින අතර නිදහස් හා සාධාරණ ලෙස තේරීම් කටයුතු කිරීමට පරිසරයක් නොමැති වීම, තේරීම් කමිටුව ගන්නා තීරණ බාහිර පාර්ශවයන් විසින් සංශෝධනය කිරීම සහ ස්වේච්ඡාවෙන් ඉටුකරන සේවය ඇගයීමට ලක් නොකර හෑල්ලු කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිය ලිපිය මගින් කණගාටුව පළ කර තිබේ.
මීට පෙර ශ්රී ලංකා මලල ක්රීඩා ආයතනයේ නිලවරණයට තරග කිරීම සඳහා තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ විශ්රාමලත් නියෝජ්ය පොලිස්පති උපාලි කුමාරසිරි මහතා සහ පෞද්ගලික හේතූන් මත සාමාජිකා සාරාංගි ද සිල්වා මහත්මියද ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩු සඳහා මෙතෙක් නිලධාරීන් පත්කර නොතිබුණි.
ලෝක කනිෂ්ඨ මලල ක්රීඩා තරගාවලිය
ක්රීඩා අමාත්යාංශයේ ඉහළම බලධාරියෙකුගේ මැදිහත්වීම මත තේරීම් කමිටුව මගින් නිර්දේශ නොකළ ක්රීඩකයෙකු ලබන අගෝස්තු මාසයේ එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක මලල කනිෂ්ඨ ක්රීඩා තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීමට තීරණය කිරීම පිළිබඳවද තේරීම් කමිටුව සිය ලිපියේ දක්වා ඇති බව වාර්තා වේ.
තේරීම් ක්රියාවලියේ පවතින සංකීර්ණතා නිසා තමන්ට අධිකරණයෙන් පවා සිතාසි ලැබෙන තත්ත්වයක් උදාවී ඇති බවත්, මෙරට මලල ක්රීඩා ඉතිහාසයේ මෙවැනි කළු පැල්ලමක් තමන් අත්විඳින පළමු අවස්ථාව මෙය බවත් ඉල්ලා අස්වූ සාමාජිකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
Comments
Moderated before publishing. Your email stays private.