Swipe left or right to navigate stories
බදුල්ල සහ නානුඔය අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ

බදුල්ල සහ නානුඔය අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ

‘දිට්වා‘ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස අලාභහානි වී තාවකාලිකව ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල සහ නානුඔය අතර කොටස සම්පූර්ණයෙන්ම පිළිසකර කර අවසන් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මින් පෙර බදුල්ල සිට අඹේවෙල දක්වා පමණක් සීමා වී තිබූ දුම්රිය ධාවන කටයුතු මෙම මස 20 වැනිදා සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව 20 වැනිදා සිට දිනකට දුම්රිය වාර 4 ක්, ගමන් වාර 2 බැගින් බදුල්ල සහ නානුඔය අතර ධාවනය වීමට නියමිතය.



හානිය සහ පිළිසකර කිරීම්

‘දිට්වා‘ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල සහ නානුඔය අතර දුම්රිය මාර්ගය අඩි 65 ක් ගැඹුරට, අඩි 100 ක පළලකට සහ අඩි 120 ක දිගකට සම්පූර්ණයෙන්ම නායයෑමකට ලක්විය.

විකල්ප මාර්ග නොමැති වීම සහ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික උපදෙස් මත දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව විසින් මෙම අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කර ඇත.

තවද උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ දෙසට වන්නට පවතින සෙසු අවහිරතා සහිත කොටස්ද කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.



නව දුම්රිය කාලසටහන

1. 1005/1006 විශේෂ දුම්රිය (දිනපතා ධාවනය වේ)
අංක 1005 : නානුඔයෙන් පිටත්වීම - පෙ.ව. 09.00, බදුල්ලට ලඟා වීම - පෙ.ව. 12.16
අංක 1006 : බදුල්ලෙන් පිටත්වීම - ප.ව. 03.00, නානුඔයට ලඟා වීම - ප.ව. 06.06

2. 1015/1016 විශේෂ දුම්රිය (බදාදා දිනවල ධාවනය නොවේ)
අංක 1015 : නානුඔයෙන් පිටත්වීම - ප.ව. 02.30, බදුල්ලට ලඟා වීම - ප.ව. 05.46
අංක 1016: බදුල්ලෙන් පිටත්වීම - පෙ.ව. 09.00, නානුඔයට ලඟා වීම - ප.ව. 12.16

3. 1043/1044 ඇල්ල ඔඩිසි විශේෂ දුම්රිය (බදාදා දිනවල පමණක් ධාවනය වේ)
අංක 1043 : නානුඔයෙන් පිටත්වීම - ප.ව. 01.00, බදුල්ලට ලඟා වීම - ප.ව. 04.12
අංක 1044 : බදුල්ලෙන් පිටත්වීම - පෙ.ව. 07.45, නානුඔයට ලඟා වීම - පෙ.ව. 11.29



විශේෂ දැනුම්දීම

ධාවනය වන මෙම සියලුම දුම්රියන් පළමු පංතියේ (වායුසමනය කළ) සහ දෙවන පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම්වලින් සමන්විත වේ.

මගීන්ට දුම්රිය ස්ථාන වෙත පැමිණීමෙන් හෝ seatreservation.railway.gov.uk නිල වෙබ් අඩවිය ඔස්සේ ආසන වෙන් කරවා ගත හැකිය.

එසේම මේ වන විටත් ගමනාන්තය හෝ ආරම්භක ස්ථානය ලෙස "අඹේවෙල" තෝරාගෙන ආසන වෙන්කරවාගෙන ඇති මගීන්ට, එම ප්‍රවේශ පත්‍ර භාවිත කරමින්ම නානුඔය දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට හෝ නානුඔය සිට ගමන ආරම්භ කිරීමට අවසර ලබා දී ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem